ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පෝලන්තයේ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/8) වැටලීම් කරන ලදී.
රාජගිරිය ප්‍රදේශයේ වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ. එම ආයතනයට පෝලන්තයේ රැකියාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කර ඇත. ඒ අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදි අදාල ස්ථානයේ හිමිකරු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එසේම අදාල ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 2ක් හා විදේශ රැකියා අයදුම්පත්‍ර රැසක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අද දින (5/9) කොළඹ අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේම, ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 8ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් අනුව, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද ඊයේ දින (5/8) අත්අඩංගුවට ගන්නා ලදී.
ඩුබායි රාජ්‍යයේ මත්ස්‍ය නිශ්පාදන ආයතනයක රැකියාවක් ලබාදීම සඳහා සැකකරු මෙසේ මුදල් අයකර ඇති අතර, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද දින (5/9) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.