මෙවර මහ මැතිවරණය සදහා තමා ඉදිරිපත් නොවන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකත්වයෙන්ද ඉල්ලා අස්වන බව මාතලේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි/හිටපු සමබ්න්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සදහන් කර තිබේ.
2015 වසරේ ජාතිකවාදී කදවුර ලද දේශපාලන පරාජයෙන් පසුව මාතලේ දිස්ත්‍රික්කය ද දේශපාලන වශයෙන් හුදකලා විය.
අප කඳවුරේ වාමාංශික සහ ජාතිකවාදී ජනතාවට නායකත්වය ලබා දීමට කිසිවෙකු හෝ නොසිටි කල, කවදත් විශ්වාස කළ මතවාදය වෙනුවෙන් මා දේශපාලනය ආරම්භ කළේය.
එවකට මාතලේ දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික දේශපාලඥයන් බහුතරය එවකට ආණ්ඩුව සමග එක් වී අමාත්‍ය ධූර දරමින් සිටියහ.
ඉන් නොසැලුනු අප මාතලේ ජාතිකවාදී ජනතාව සමග කඳවුර වෙනුවෙන් අනවරත අරගලයක නිරත විය.
එහි ප්‍රතිඵලය වූයේ 2019 වසරේ ජනපතිවරණයේ දී සහ 2020 මහ මැතිවරණයෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ අප කඳවුර සහ මා ලද දැවැන්ත දේශපාලන ජයග්‍රහණයයි.
නොයෙකුත් කැපිලි කෙටිලි සහ තාඩන පීඩන මැද අප සැමදා දේශපාලනය කළේ අප විශ්වාස කරනා මතවාදය සහ ජනතාව වෙනුවෙනි. අපගේ ප්‍රතිපත්ති වෙනුවෙනි.
ප්‍රතිපත්ති වෙනස් වන තැනක සිටගැනීමට අප කිසිසේත්ම කටයුතු කරන්නේ නැත. එම නිසාම ප්‍රතිපත්ති මූලික ගැටළුවක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු නායකත්වයෙන් ඉල්ලා අස් වෙන බව මා හිතවත් සහෘද ඔබට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
ජාතිකවාදී දේශපාලනයක නිරත අප සැමදා වංචා, දූෂණයට විරුද්ධය. අප දේශපාලනයෙන් උපයා ගත් වත්කම නම් ඔබගේ ආදරය සහ ගෞරවය පමණි.
එම නිසා තවදුරටත් නොගැලපෙන තැනක සිටීම ඔබට ද සිදු කරන අසාධාරණයක් නිසා පක්ෂයේ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වෙමි.
එනමුදු අප ප්‍රතිපත්ති පාවා දෙමින් වෙනත් කිසිඳු පක්ෂයකට හෝ කඳවුරකට එක් නොවන බව ද, මේ මොහොතේ මැතිවරණ නිෂ්ක්‍රීය දේශපාලන ප්‍රවේශයක් තෝරා ගත් බවද ප්‍රකාශ කරමි.