මෙවර පොසොන් උත්සවයට මිහින්තලේ පන්සලට උදව් නොකරන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුත්තන් සහ ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ කර ඇතත් මිහිඳු මහ රහතන් වහන්සේ සමරන ඒ උදාර පින්කමගිය වසරටත් වඩා මේ වසරේදී සාර්ථකව සිදු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසූවේ අද (30දා) මිහින්තලේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.
"මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ පොසොන් පොහොය දිනට වසර 2332 ක් වෙනවා.සිංහල රජ දවසේ සිට අද දක්වා පොසොන් පින්කම සිදුකර තිබෙන බවට මූලාශ්‍ර වල අපි දැකලා තිබෙනවා, එල්.ටී.ටී.ඊ සහ ජේ.වී.පී ත්‍රස්තවාදී සමයේ , පාස්කු ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේදී , කොවිඩ් වසංගතය පැවති සමයේ පවා අපි මේ පින්කම සිද්ධ කළා.
මෙයාලා පාර්ලිමේන්තුවේ මහා උජාරුවෙන් කතා කරලා මේ අක්කර ගාණක පුණ්‍ය භූමියේ හිටපු, ශුද්ධ පවිත්‍ර කරපු, තේවාව කරපු ආරක්ෂක අංශ පුදබිමෙන් කළා. ඒක ලොකු හපන්කමක් එයාලා කරපු.මහ නායක හාමුදුරුවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළානැවත මිහින්තලාවට ආරක්ෂක අංශ ලබා දෙන්න කියලා. ඒ පාලකයෝ කනකටවත් ගන්නේ නෑ, ඒ පාලකයෝ හතරවෙනි මිහිඳු රජතුමාගේ මූල්‍ය කළමනාකරණය ඉගෙන ගත්තෙ නැති අය.
මිහිඳු මහා රහතන් වහන්සේ සමරන පොසොන් පින්කමට අකුල් හෙලන පාලකයෝ දන්නේ නැහැ, මිථ්‍යාදෘෂ්ටිකයෝ සම්යද්දෘෂ්ටිකයන් බවට පත්වුනේ මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළායින් පසුව බව.පාලකයන්ට පුළුවන් අපිව මරලා දාන්න, නැතිනම් හිරේ දාන්න.ඒත් අපි මේ අයට අපි බය වෙන්නේ නැහැ, පාලකයන් උදව් කළේ නැති වුණාට සිංහල , මුස්ලිම්, දෙමළ, අනෙකුත් ජාතිකයන්, අපිට පසුගිය වසරේ උදව් කළා මෙන් මෙවරත් උදව් කරනවා.සමහරු රුපියල් විස්සක් පවා තැපෑලෙන් එවල තිබුණා.
මේ වන විට විදුලි ජනක යන්ත්‍ර දෙකක අවශ්‍යතාව තිබෙනවා. ගියවර අපිට එම විදුලි යන්ත්‍ර දෙක ලැබුණා.මෙවර තාම නැහැ.අක්කර දහස් ගානක භූමිය ආලෝකවත් කරන්න පටන් ගන්නවා හෙට අනිද්දා.සති පිරිත් පින්කම 12දා ආරම්භ කරනවා. ලංකාවේ පළමු පෙරහැර වැනි මිහිඳු පෙරහැර 20 වෙනිදා පටන් ගන්නවා. ආලෝක පූජාව සඳහා හැකි පමණින් උදව් කරන්න කියලා තමයි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. පසුගිය වසරේත් අපිට අපිට මාධ්‍ය මගින් තමයි උදව් කළේ, මේ කටයුතු ප්‍රචාරය කරලා දීලා, මෙවරත් මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා මේ ගිණුම් අංක ප්‍රචාරය කරලා මේ පොසොන් පිංකම කරන්න සහාය වන්න කියලා".