ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස සැලකෙන පොළොන්නරුව වකුගඩු රෝහලට ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් මෙන්ම සේවකයින් නොමැතිකමින් ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
මේ පිළිබඳව පසුගිය 28 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීමේදීද කතාබහට ලක් වූ අතර, පොළොන්නරුව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා සඳහන් කළේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් සහ සේවකයින් නොමැතිකමින් රෝගීන් දැඩි දුෂ්කරතාවලට නිරන්තරව මුහුණ දෙන බවයි.
රෝහල සඳහා සේවකයින් දැනට 700 ක් පමණ සේවය කරන මුත්, තවත් හාරසියයක පමණ සේවකයින් පිරිසක් ඊට අවශ්‍ය බවද ගුණතිලක මහතා මෙහිදී හෙළිදරව් කළේය.
විශේෂඥ වෛද්‍ය සේවා පහළොවක් පමණ මෑතකදී ආරම්භ කර ඇති අතර ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුවක් තිබෙන බැවින් මෙය ජාතික ප්‍රශ්නයක් බවත්, ඊට කඩිනම් විසඳුම් සපයා ගැනීමේ අවශ්‍යතාවයද වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ සේවක හිඟය පිළිබඳව ගැටළුවට පිළිතුරු දෙමින් පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කළේ එහි ධාරිතාවය අනුව වෛද්‍යවරුන් සහ සේවකයින් පත්කර ඇති අතර, මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද මතය වී ඇත්තේ රෝහලේ ධාරිතාවයට අනුව වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් පත්කර ඇති නිසා ඊට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමට නොහැකි බවත්, වෛද්‍යවරුන් සහ සේවකයින් බඳවා ගන්නේ නම් කැබිනට් පත්‍රිකාවක් මගින් ඊට අනුමැතිය ලබාගත යුතු බවයි.