මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන උනාපූරුවේ ශාන්ත නැමැත්තාගේ මත් ද්‍රව්‍ය ජාලයට අයත් බව පැවසෙන අයිස් සහ හෙරොයින් කිලෝ හැත්තෑ දෙකයි ග්‍රෑම් හයසිය හතලිහක සමග දෙදෙනකු අද (26) දා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි එකසිය පනහකට අධික බව පැවසේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල (41) සහ තලවතුගොඩ (31) පදිංචි උනාපූරුවේ ශාන්ත නමැත්තාගේ මස්සිනා දෙදෙනකු බව පොලීසිය කියයි.
විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව විශේෂ මෙහෙයුම් 3 අංශය මගින් මීගොඩ පොලිස් වසමේ වටරැක ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී මීගොඩ වටරැක හල්බරාව ප්‍රදේශයේ නිවසක් අසල ගාල්කර තිබූ ලොරි රථයක ඉතා සූක්ෂමව සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය විශේෂ කාර්යය බලකාය විසින් සොයාගෙන තිබුණි.
පසුව මත්ද්‍රව්‍ය තොගය කිරා මැන බැලීමේදී ඒ තුළ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 42 ග්‍රෑම් 890 සහ හෙරොයින් කිලෝ 29 ග්‍රෑම් 750 තිබූ බව පොලිසිය පවසයි.
ඒ අනුව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් උනාපූරුවේ ශාන්ත නමැත්තාගේ මස්සිනා දෙදෙනෙකු බවත් එම මත් ද්‍රව්‍ය ඔහුට අයත් ඒවා බවට මූලික විමර්ශනය වලදී අනාවරණය වූ බවත් පැවසේ.
මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව එම මත් ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු ඉහළ නිලධාරින් පැමිණ නිරීක්ෂණය කොට එම මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදෙන ලෙසට නියෝග කළේය.
එහිදී වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ පොල් අලෙවි කිරීම සඳහා විශේෂයෙන් සැකසූ ලොරි රථයක ගබඩාකොට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේඑ නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත (සංවිධානාත්මක අපරාධ ,ත්‍රස්ත මර්ධන,බුද්ධි ) අංශයේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ධනුෂ් රණසිංහ මහතා ඇතුලු නිලධාරී කංඩායමක් මෙම වැටලිම සිදුකර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉදිරි පරීක්ෂණ පවත්වති.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුලරත්න/බිමල් ශ්‍යාමන්