සංවිධානාත්මක අපරාධකරුවෙක් යයි සැලකෙන අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තා අද (9) බලපිටිය මහේස්ත්රාත් ආර්.ඩී.ජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය.
බලපිටිය මහාධිකරණයෙන් නියෝග කරන ලද රුපියල් ලක්ෂ දහයක වත්කම් ඇපයක් අද (9) සම්පූර්ණ කිරීම සැලකිල්ලට ගත් මහේස්තාත්වරයා අරුමාහන්දි ජනිත් මධුසංක නමැත්තාට ඇප ලබාදෙන ලෙස අද (9) නියෝග කළේය.
2017 වසරේ මත් කුඩු ග්රෑම් දෙකක් සන්තකයේ තබා ගැනීම ඇතුලු චෝදනා රැසක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විසින් බලපිටිය මහාධිකරණයේ ගොනු කරන ලද නඩුවකට අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
පොලීසිය ඉදිරිපත් කළ මත් කුඩු ග්රෑම් දෙක රස පරීක්ෂකවරයාට යැවීමෙන් පසු එම මත්කුඩු පමාණය මිලි ග්රෑම් තිස්දෙකක් බවට වාර්තාව ලැබීමෙන් පසුව පොඩි ලැසී නමැත්තාගේ නඩුව බලපිටිය මහේස්තාත් අධිකරණයට මහාධිකරණය විසින් යොමුකරන ලදි.
තවද මේ නඩුව සම්බන්ධයෙන් පොඩි ලැසී නමැත්තාට ඇප ලබාදීමට නම් ලක්ෂ දහයක වත්කම් ඇපයක් ලබාදිය යුතු බව මහාධිකරණයෙන් නියෝග කරන ලදි.
ඒ අනුව මේ නඩුව අද(9) බලපිටිය මහේස්තාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේදී මහේස්තාත් ආර්.ඩී.ජානක මහතා සැකකරුට ඇප ලබාදීමට නම් මහාධිකරණයෙන් පනවන ලද ඇප කොන්දේසී නියම කළයුතු බවට දැනුම් දුන්නේය.
එහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් මහේස්තාත්වරයාගෙන් ඇප ලබාදෙන අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නැමැත්තා නීතීඥ මණ්ඩලයකයට භාර දෙන ලෙසත් ඇප ලබාදෙන ඔහුට යන තැනකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙසට දකුණු පළාත් නියෝජය පොලිස්පතිට නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
මේ ඉල්ලීම් දෙකම ප්රතික්ෂේප කළ මහේස්ත්රාත්වරයා ඔහුට ඇප ලබාදීමට නම් මහාධිකරණය විසින් ලබාදෙනු ලබන ඇප කොන්දේසි සම්පූර්ණ කළ යුතු බව දැනුම් දුන්නේය.
මහේස්ත්රාත්වරයාගේ දැනුම්දීමත් සමගම පොඩි ලැසීට මහාධිකරණයෙන් පනවා තිබූ ඇප කොන්දේසී ඔහුගේ පවුලේ අය විසින් සම්පූර්ණ කර ඒබව අධිකරණයට දන්වන ලදි.