මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිතා කරන විදුලිය සඳහා විදුලිබල මණ්ඩලයට වැය වෙතැයි ඇස්තමේන්තු කොට ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කොට ඉන් යම් කොටසක් පමණක් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .
එම ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් තුමා, පෙරහර භාරය, පොලිසිය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ප්‍රවාහන අධිකාරිය සමග එකට එකතු වී සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද දියවඩන නිලමේවරයා නිලමේ වරයා පැවසීය .
මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කරන කාලය තුළ දළදා මාලිගාව සහ සතර මහා දේවාල පරිශ්‍ර වලට විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සෑම වසරකම ඇස්තමේන්තුවක් එවන බව අවධාරණය කළ දියවඩන නිලමේවරයා ගිය වසරේදී එය ලක්ෂ 90 ක ඇස්තමේන්තුවක් බවද පැවසීය .
එම ඇස්තමේන්තු මුදල විදුලිබල මණ්ඩලය මගින් දැරුවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ මෙවර ඇස්තමේන්තු මුදලින් යම් කොටසක් ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් දැරිය යුතු බවට යෝජනා වී ඇති බව ද ඒ මහතා කීය .
විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබෙන රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කොට විසඳා ගැනීමට හැකියාව තිබියදී ඇතැමුන් ජනමාධ්‍ය මඟින් ප්‍රශ්නයට විසඳුම් සොයන්නට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බව ද නිලමේවරයා වැඩිදුරටත් පැවසීය.
ෂේන් සෙනෙවිරත්න