පනාමුර, කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ පෙරහරක් සඳහා ගෙනෙන ලද අලියෙකු අසලට ගිය දොළොස් හැවිරිදි දරුවෙකු එම අලියා 15දා සවස පහරදීමෙන් පසු මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසයි.
අලියා පහර දීමෙන් බිම වැටී සිටි දරුවා වහාම ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. හදිසි ඒකකයට ඇතුළත් කළ පසු පැයක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුලූ සේවකයින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් ගත්ත ද ටික වේලාවකින් ඔහු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
ඇඹිලිපිටිය, පනාමුර පාරේ දෙකේ කණුව, ගල්අමුණ පාරේ පදිංචිව සිටි මුණසිංහගේ ලකි`දු නෙත්සර මුණසිංහ (12) දරුවා මෙසේ මියගොස් ඇත. ඔහු පනාමුර මහා විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
පෙරහරට ගෙනා මෙම අලියා පන්සල පිටුපස තේක්ක ඉඩමක බැඳ තිබුණි. අලියා බැඳතිබූ ස්ථානය වටා තුන් පැත්තකින් කම්බි ගසා තිබුණි. පාසල ඇරී තවත් ළමයෙක් සමග පන්සල පැත්තෙන් පමණක් කම්බි නොගසා තිබු අතර මියගිය දරුවා අලියා ළඟට ගොස් ඇත්තේ එතැනින් බව පොලිසිය පැවසුවේය.
මෙම සිද්ධියෙන් පසුව පෙරහරට සහභාගිවීමට අවට පාසල්වලින් පැමිණ සිටි නැටුම් කණ්ඩායම් කිහිපයක් ම ආපසු හැරී ගිය බව සංවිධායකයෝ පැවසූහ. කෙසේ වෙතත් 15දා සවස පෙරහර විදි සංචාරය කිරිම ස`දහා සියලූ කටයුතු සුදානම් කරතිබුණි.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර