- මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට්ටුවකින් නිකුත් කෙරේ
- වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනයට අවසර හිමිවේ
- ලියාපදිංචි ආනයනකරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට පුළුවන්
- වෙනත් ඕනෑම අයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනයට අවසර ලැබේ
- ආනයනයෙන් දින 90ක් තුළ විකුණා ගැනීමට නොහැකි වුවහොත් ආනයනකරු නමින් ලියාපදිංචි කිරීම හෝ දඩයකට යටත්වීමට සිදුවේ
පුද්ගලික පරිහරණය සඳහා වූ මෝටර් රථ ඇතුළු වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම 2025 පෙබරවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (27දා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වාහන ආනයනයට අවසර දෙමින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනයට අනුව, වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය කිරීමට අවසර හිමිවෙයි.
කොවිඩ්-19 වසංගතය සමග උත්සන්න වූ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට ලක්ව සිටි ශ්‍රී ලංකාව, 2020 වනවිට බොහෝ භාණ්ඩ ආනයනය තහනම් කළ පසුබිමක වාහන ආනයනයද අත්හිටුවන ලදී. කෙසේ වෙතත් පසුගිය වසර අවසානය වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය කෙමෙන් යථාතත්ත්වයට පත්වීමත් සමග ආනයන සීමා පැනවූ බොහෝමයක් භාණ්ඩ සඳහා දොරටු විවර වුවත්, ආනයනය කිරීමට අවසර දී ඇති අවසාන අයිතම අතර වාහනද වේ. කෙසේ වෙතත්, ආනයන සීමාව සම්බන්ධයෙන් තවදුරටත් සීමාවන් පවතී.
අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කළ හැකි අතර, වෙනත් ඕනෑම පුද්ගලයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනය කළ හැකිය. කෙසේ වෙතත්, ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමෙන් දින 90ක් ඇතුළත එය විකුණා ගැනීමට නොහැකි නම්, එම වාහනය තමාගේ නමින් ලියාපදිංචි කිරීමට සිදුවනු ඇති අතර, නැතිනම් සියයට 3ක දඩ මුදලක් ගෙවිය යුතුය.
1969 ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන පනත යටතේ මෙම රෙගුලාසි නිකුත් කර ඇත.
ඒ් ඒ් වාහන කාණ්ඩ සඳහා වාහන ආනයනයේදි සලකා බලන වසර සිමා
බස් රථ කාණ්ඩය
බස් රථ රියදුරු ඇතුලුව මගීන් 10-12 (වසර 3 1/2)
බස් රථ රියදුරු ඇතුලුව මගීන් 13-24 (වසර 5)
බස් රථ රියදුරු ඇතුලුව 25 සහ ඊට වැඩි (වසර 10)
මෝටර් කාර් කාණ්ඩය
මෝටර් කාර් (වසර 3)
ත්‍රීරෝද රථ (වසර2)
ක්‍රීඩා උපයෝගීතා වාහන (ජීප්) (වසර 3)
සියලුම භූමි වාහන (වෙරල බයිසිකල්) ( වසර 3)
ද්විත්ව කාර්ය වාහන(වෑන්) ( වසර 4)
තනි කැබ් රථ (වසර 4)
ද්විත්ව කැබ් රථ ( වසර 4)
ගිලන් රථ ( වසර 3)
හර්සස් (වසර 3)
, දොඹකර ලොරි කාණ්ඩය, පාපැදි කාණ්ඩය , ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් කාණ්ඩය යන කාණ්ඩ වලට අයත් වාහන ආනයනය කිරීම සදහා මේ අනුව අවසර හිමිවේ
මහීෂා චන්ද්‍රගුප්ත/දිනේෂ් සමරකෝන්