මිරිහාන මාදිවෙල, සේනාලංකාදිකාරගම ප්‍රදේශයේ සිල්ලර බඩු විකිණීමේ වෙළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරෝයින් මත්ද්‍රව්‍ය විකිණීමේ නියැලුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 10630 ක් පොලිස් භාරයට ගෙන ඇත. මීට මාස එකහමාරකට පමණ පෙර යුක්තියේ මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටලීමකදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුගේ පුත්‍රයා හෙරොයින් මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට පත්ව දැනට බන්ධනාගාර ගතව සිටින බවත් පුත්‍රයා බන්ධනාගාර ගතවීමෙන් අනතුරුව දැනට අත්අඩංගුවට පත්ව සිටින පියා විසින් මෙම මත්කුඩු ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව සිටින සැකකාර පුද්ගලයා භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළඳසැලට පැමිණෙන හෙරෝයින් මත්ලෝලීන්ට මත්කුඩු හොර රහසේ විකුණන බවට පොලිස් සැරයන් වසන්ත නිලධාරියාට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි
56 වැනි වියේ පසුවන සැකකරු මාදිවෙල, සේනාලංකාදිකාරගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවත් (අජා) නැමති අනවර්තනාමයෙන් පෙනී සිටින අයෙක් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් වූ සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ගල්කිස්ස, බඩඕවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලී සිටින පුද්ගලයින් කිහිප දෙනකුගෙන් විකිණීම සඳහා මත්කුඩු ලැබෙන බව ප්‍රකාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරුව ඉදිරිපත් කොට දින තුනක රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය කියයි.