කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සදහා පැමිණියේ යයි සැකකෙරෙන යතුරු පැදිය ඌරගස්මංහන්දිය මහ ඌරගහ රන්තොටුවිල පදේශයේ පාලු ස්ථානයක ගිනි දමා තිබියදී අද (29) දහවල් සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව මේ ගිනි තබා විනාශ කළ යතුරු පැදිය සොයා ගත් බවත් මේ යතුරු පැදිය ගිනි තැබූ වේලාව සහ එය ගිනි තැබූවේ කවුරුන්ද යන්න පිළිබදව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන බව ද පොලීසිය කියයි.
හජන සෞකය පරීක්ෂක රොෂාන් කුමාර මහතා ඝාතනයට පැමිණි නාදුනන තුවක්කුකරුවන් ඔහුට වෙඩි තබා ඌරගස්මංහන්දිය දක්වා පැමිණෙන බව මග දෙපස තිබූ සී සී ටී වී දර්ශනවලින් සොයා ගත් බවත් ඒ අනුව ඝාතකයන් ඝාතනය සදහා පැමිණි යතුරු පැදිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයට පැමිණ එයට ගිනි තබා පලා යන්නට ඇතැයි සැකකරන බවත් පොලීසිය කියයි.
ඝාතකයන් හදුනා ගැනීමට නොහැකි වෙතැයි අනුමාන කළ නාදුනන තුවක්කුකරුවන් තමන් පැමිණි යතුරු පැදියට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ඝාතනයට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණයවී නැති බවත් ඝාතනයේ සුලමුල සොයා ගැනීමට මග දෙපස සී සී ටී වී කැමරා පද්ධති සියයක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව ද පොලීසිය කියයි.
රාජකාරී ප්‍රශ්න ,තරහකරුවන් හා අනියම් පේම සම්බන්ධතා මෙන්ම පාතාල සම්බන්ධතා සොයා ගැනීමට නොහැකිවූ මේ දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය ඉතාම අභිරහසක් බවත් මෙය වැරදීමකින් සිදුවූවක් යන්න බවද කිව නොහැක්කේ මෙලෙස නිවසටම ඇවිත් ඝාතනය කොට පොලීසියට කොටු නොවී පැන යාමට තරම් ඝාතනයට පැමිණි අය සැලසුම් සහගතව පැමිණීම නිසා බව ද පොලීසිය කියයි.
කෙසේ නමුත් ඉදිරි දින කිහිපයේදී මේ ඝාතනය සම්බන්ධයෙන් යමක් සොයා ගැනීමට හැකිවෙනු ඇතැයි තදින්ම විශ්වාස කරන බව ද පොලීසිය කියයි.