පිළියන්දල හොරණ පාරේ පිහිටි කළකට පෙර මියගිය පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකුගේ නිවසේ තිබී මෝටර් උණ්ඩයක්, අංක මකා දමන ලද ටී56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 96 ක්, ට්‍රසර් උණ්ඩ 20ක්, බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
එම පරිසර වේදියාගේ පුත්‍රයා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුගේ පිළියන්දල පිහිටි නිවසේ උඩුමහලේ සොල්දොර තට්ටුවේ යන්ත්‍රෝපකරණ කාමරය පරීක්ෂා කිරීමේ මෙම ආයුධ තොගය සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබේ.
එම ආයුධ තොගය එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳවත්, කිසිවෙකු විසින් එම ආයුධ තොගය මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීමට නියමිත අතර මේ වන විට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
මියගිය පරිසරවේදියාගේ බිරිඳගෙන් සහ පුතු පොලිසියට කැඳවා පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ ලබාගත් බවත් මෙම ගිනි අවි හමුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේද විමර්ශනයක් පැවැත්වේ.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.