ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ පිල් මාරු කිරීමේ දේශපාලනය අවසන් කරන බවත්, පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන ආකාරයට නීති ගෙන එන බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ජාතික ජනබලවේගය ආණ්ඩුවක් විසින් ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව සකස් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය. ප්‍රතිවාදීන්ට කිරීමට ඇත්තේ ජාතික ජනබලවේගයට එරෙහිව මඩ ගැසීම පමණක් යැයි ද ඇය කවාය. සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරයා ලෙස නිසැකවම පත් වන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා බවත්, ජනතාව එම තීන්දුව ගෙන අවසන් බවත් ඇය සඳහන් කළාය.
මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ අද (21දා) ගම්පොළ පැවති රැළිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසූරිය මන්ත්‍රීවරිය මෙසේ පැවසුවාය.
“අනුරට කෝටියක් හොයන මේ ගමනට එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම ස්තුතියි. රටම තීරණයක් අරන් තියෙනවා මේ රටේ නායකයා විදියට අපේ අනුර සහෝදරයා, ජනාධිපති සහෝදරයා බවට පත් කරන්න ඔබේ ඡන්දය ලබාදෙන්න.
අපි මේ හදන්නේ තවත් එක ජනාධිපති කෙනෙක් පත් කරගන්න නෙමෙයි. මේ රට ගොඩනගන්න පුළුවන් නායකයෙක් පත් කරගන්න අපි මේ හදන්නේ. මේ රට හදන්න බෑ කියලා බොහෝ දෙනෙක් මේ රට අතහැරලා යනවා. අපි කියනවා නෑ. මේ රට හදන්න පුළුවන්.
මේ එහාට මෙහාට ගෙම්බො වගේ පනින දේශපාලනය අවසන් කළා නම් මේ රට හදන්න පුළුවන්. පුද්ගලික හේතු මත රට පාවා දෙන පිරිසක් එක්ක මේ රට හදන්න බෑ. ඔබ හොඳින් මතක තියාගන්න. අපි අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරලා තියෙනවා. ඒක තුළ පක්ෂ මාරු කරනවා නම් මන්ත්‍රී ධුරය අහෝසි වන ආකාරයට ප්‍රතිපත්ති හදලා තියෙනවා. මේ වේදිකාව දිහා බලන්න.
මේ ඉන්නේ වෘත්තිකයන්, විෂය ප්‍රවීණයන්. මේ පිරිස එක්ක එකතු වෙලා, ඔබවත් සම්බන්ධ කරන් හොඳ නායකත්වයක් සමගයි අපි මේ රට හදන්නේ. අපේක්ෂකයන් 39දෙනා අතරින් අනුර සහෝදරයා තමයි ජනතාව විසින් තෝරාගත්ත කෙනා. ඔබ තමයි ඔහු ඉදිරියටම ගෙනාවේ. සැප්තැම්බර් 21 වැනිදා අනුර සහෝදරයා දිනනවා කියන්නේ එදාට දිනන්නේ මේ රට. එදාට දිනන්නේ ඔබ”.