දින පහක සිට නිවසින් අතුරුදන්ව සිටි රස්නායකපුර පොලිස් වසමේ පදිංචි පුද්ගලයා ගේ සිරුර නිකවැරටිය පොලිස් වසමේ කුඹුරු යායක ඇලක් ආසන්නයේ තිබී 29 දා පස්වරුවේ හමුවූ බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
එම නරක් වූ මළ සිරුර, නිකවැරටිය පොලිස් වසමේ, පහල ගලපිටියාගම කුඹුරු යායක තිබී සොයා ගන්නා විටද , සිරුරේ කොටස් සතුන් විසින්ද කා දමා තිබූ අතර , මෙලෙස මියගොස් සිටියේ , රස්නායකපුර පොලිස් වසමේ, කෝන්ගස්වලයාගම, හීලෝගම ලිපිනයේ පදිංචි පියල් රංජිත් ජයසිංහ (44) නැමති දෙදරු පියෙකි.
දෛනික කුලී වැඩ වල නිරත වෙමින් ජීවත් වූ මෙම පුද්ගලයා , ඉකුත් 24 වෙනිදා, උදෑසන කෑම කා, නිවසින් බැහැරට ගොස් ඇති අතර, ඉන් පසුව ඔහු යලි ආපසු නිවසට නොපැමිණි බවට, ඔහුගේ බිරිය විසින් පසුව රස්නායකපුර පොලීසියට පැමිණිලි කර ඇති බවද පොලීසිය සඳහන් කරයි .
නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නදුන් ඉන්ද්‍රජිත් බංඩාර රස්නායක මහතා සිරුර හා ස්ථාන පරීක්ෂාවක් සිදු කරමින්, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නිකවැරටිය මූලික රෝහලට රැගෙන යන ලෙසත්, අධිකරණයට කරුණු වාර්තා කරණ ලෙසත් නිකවැරටිය පොලීසියට නියෝග කෙරෙණි.
නිකවැරටිය කොට්ඨාශ බාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දහනායක මහතා ගේ මෙහෙය වීමෙන් නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.
ප්‍රියාණි මංගලිකා