වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට අවේණික සත්ව විශේෂ සුරැකීමේ අරමුණින් පිහිටවූ පින්නවල සත්වෝද්‍යානයේ සිටින මෙරටට ආවේණික ගැහැණු හා පිරිමි වලසුන් දෙදෙනා සහ දිවියන් පස්දෙනා අතර පවතින වයස් පරතරයන් ඇතුළු නොගැලපීම් හේතුවෙන් ඔවුන්ගේ පැටවුන් බිහිවී නොමැති බව ජාතික විගණන කාර්යාලය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිකුත්කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විගණනයට දැනුම් දී ඇත්තේ පිරිමි වලසාට සුදුසු ගැහැණු වලසුන් ලබා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවට ඉල්ලුම් කර ඇතත් අධිකරණමය තීන්දුවක් හේතුවෙන් එවැනි ගැහැණු වලසුන් වනයෙන් ලබා ගැනීමට නොහැකිවී ඇති බවයි.
අභිජනනයට සුදුසු දිවියන් සිටියද ඔවුන් ස්වභාවික අභිජනනය මගින් පැටවුන් බිහිවීම නොකිරීම නිසා කෘත්‍රිම සිංචනයෙන් දිවියන් බෝකර ගැනීමට වැඩ සටහනක් ආරම්භ කරන බවද එම දෙපාර්තමේන්තුව විගණනය වෙත වැඩි දුරටත් දන්වා ඇත.