භික්ෂුවකට නොගැලපෙන ආකාරයට හැසිරෙන පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයෙන් නෙරපා හරින ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ගෙන් ඉල්ලීමක් සිදු කළහ.
මහාචාර්ය ඥානිස්සර හිමියන් ඇතුළු පහතරට භික්ෂු සංවිධානය ඊයේ (03) මල්වතු මහනාහිමියන් බැහැ දැක එම ඉල්ලීම සිදු කළ අතර එහිදී මල්වතු මහා නායක හිමියන් හමුවේ එම භික්ෂූන් වහන්සේලා පිරිස අවධාරණය කොට ඇත්තේ මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේලාගේ ද සිත් රිදවමින් ශාසනික වශයෙන්ද විශාල හානියක් පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් සිදුකරගෙන යන බවයි .
මල්වතු මහනාහිමියන් බැහැදක ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් මාධ්‍ය හමුවේ පවසා සිටියේ පිටිදුවේ සිරිධම්ම හිමියන් බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන ආකාරයේ විවිධ ව්‍යාපාර වල යෙදෙමින් ශාසනික වශයෙන්ද විශාල හානියක් සිදු කරමින් සිටින උන්වහන්සේ මල්වතු පාර්ශවයට බරපතළ අපකීර්තියක් බවයි .
ශාසනික වශයෙන් ගැටලු ඇති කරන මෙවැනි හිමිවරුන් තම නිකායේ මහා නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පවා පිළි නොගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බවත් මීට පෙර දෙවතාවක් මල්වතු මහා විහාරයට කැඳවා මහානායක හිමියන් අවවාද කළත් උන්වහන්සේ එම අවවාද පිළි නොගන්නා බවක් පෙනෙන්නට ඇති බවද ඤාණිිස්සර හිමියන් පැවසූහ.
එසේ මල්වතු මහා විහාරයට පැමිණි පිටිදුවේ සිරිධම්ම හිමියන් නැවත වැරදි නොකරන බවට ලිඛිතව පොරොන්දු වී ගියත් නැවතත් උන්වහන්සේ භික්ෂුවකට නොගැලපෙන ආකාරයට හැසිරෙන බවද පැවසූහ.
දිගින් දිගටම අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කරමින් ශාසනික වශයෙන් ගැටලු ඇති කරමින් සිටින පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු මහා විහාර පාර්ශවයට බරපතළ අපකීර්තියක් බවත් උන්වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමියන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද මහාචාර්ය පාතේගම ඤාණිස්සර අවධාරණය කළහ.