පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (18) නියෝග කළේය.
අධිකරණ නියෝග අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින් වෙනුවෙන් හානි පූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන ගිණුමට රුපියල් කෝටි 31 ක වන්දි මුදලක් මේ වන විට ලැබී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය දැනුම් දුන් අවස්ථාවේදී රජයෙන් සහ අධිකරණ නියෝග මත අය කරගත් වන්දි මුදල්වලින් මෙම වින්දිතයින්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ අදාළ වාර්තාව ලබන නඩු දිනයට පෙර ඉදිරිපත් කිරීමට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේරාජා සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණි.
පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය කරුණු දක්වමින් අධිකරණය කළ නියෝග වලට අනුව මේ වන විට හානි පූර්ණ කාර්යාලයට රුපියල් මිලියන 311 ක වන්දි මුදලක් ලැබී ඇතැයි දැනුම් දුන්නාය.
ඒ අවස්ථාවේදී විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රශ්නයක් යොමු කරමින් වන්දි මුදල් ගෙවා ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇද්දැයි විමසුවාය.
අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය ඊට පිළිතුරු දෙමින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇති සම්පූර්ණ වන්දි මුදල් පිළිබඳ වාර්තාවක් යැයි කීවාය.
ඒ අවස්ථාවේදී මෙම නඩුව කැඳවුයේ අදාළ වන්දි මුදල් වින්දිතයි්ට ගෙවා ඇති ආකාරය පිළිබඳව සොයා බැලීමට බව පෙන්වා දුන් විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අදාල වන්දි මුදල් ගෙවා ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්දැයි ප්‍රශ්න කළාය.
විනිසුරු තුරේරාජා මහතා අධිකරණය අමතමින් වන්දි මුදල් ගෙවා ඇති ආකාරය පිළිබඳව දැන ගැනීමට වින්දිතයින්ට අයිතියක් ඇතැයි පෙන්වා දෙමින් රජයෙන් සහ අධිකරණ නියෝග මත අය කරගත් වන්දි මුදල් වලින් මෙම වින්දිතයින්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් බවත් සඳහන් කළේය.
පෙත්සම්කාර අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කරුණු දක්වමින් වින්දිතයින්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් දෙන්නැයි ඉල්ලීමක් කළත් එය නිකුත් කිරීම හානි පූර්ණ කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවේ පිටපත් අගතියට පත් පාර්ශවයට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයටද ලබාදීමට පියවර ගන්නා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරියට වැඩිදුරටත් නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් ලබන පෙබරවාරි 27 වැනිදා යළි කැඳවීමටද නියෝග කළේය