ඉන්ධන මිල අඩු වුවද, පාසල් ළමයි ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ අදහසක් සිය සංගමයේ නැති බව ඊයේ (01දා) උදෑසන අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කීවේය.
මේ පිළිබඳව නිශ්චිත නිල ප්‍රකාශය තව දින තුනකින් සිය සංගමයේ විධායක කමිටුව රැස් වී අරගන්නා බවද රුවන් මහතා මෙහිදී කීය.
ඉන්ධන මිල අඩු වුවත් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ අදහසක් නැති වීමට බලපෑ හේතු රැසක් ඇති බව කී රුවන් මහතා, ඉන්ධන මිල අඩු වුවද රථවාහන අමතර කොටස් දිනෙන් දිනම ඉහළ යාම මෙයට බලපෑ ප්‍රධානතම හේතුව බවද කීවේය.
අඩු තරමෙන් මාස හයකටවත් ඉන්ධන මිල ස්ථාවර මිලකට ගෙන සිය සේවාව නියාමනයකට ලක් කරන්නේ නම්, පාසල් ළමයින්ගේ ප්‍රවාහන ගාස්තුව අඩු කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි බවද රුවන් මහතා කීවේය.
ඉහළ ගොස් තිබෙන රථවාහන අමතර කොටස් මිල දිහා බලන විට ඉන්ධන මිල පහළ දැමීමෙන් සිය කර්මාන්තයට සහනයක් නැති බවද රුවන් මහතා කීවේය.
මෙහිදී මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ ජාතික සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතාද අදහස් දැක්වීය.