කුරුණෑගල නාරම්මල ප්‍රධාන මාර්ගයේ පිදුරුවැල්ල නගරයට ආසන්නව තිබෙන බස් නැවතුම්පොළක රැඳී සිටි උහුමීය ඩී.එස්. සේනානායක මැදි විදුහලේ සිසුවියක් ජීප් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් ඊයේ (20) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වීරඹුගෙදර පොලීසිය පවසයි.
සේනානායක මැදි විදුහලේ වානිජ අංශයෙන් උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි අමෝද්‍යා සිතුමිණි රාජගුරු නමැති 17 හැවිරිදි සිසුවිය අනතුර සිදුවූ ස්ථානයේදීම මරණයට පත්ව ඇත. ඇය උහුමීය පිදුරුවැල්ල රත්මලේ උයනේ පදිංචිව සිටි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය. මියගිය සිසුවිය අධ්‍යාපනයට දස්කම් දැක්වූ සිසුවියක් බවද පැවසේ.
කුරුණෑගල රථවාහන පොලිස් කොට්ඨාසය මඟින් මහමඟ රිය අනතුරු අවම කිරීම සඳහා මීට සති දෙකකට පමණ ඉහතදී එම මාර්ගයේ ආරම්භ කරන ලද ආදර්ශමත් කිලෝ මීටරය තුළදී මෙම අනතුර සිදු වීම විශේෂත්වයකි.
ඇය පෞද්ගලික පන්තියකට සහභාගි වීමට නාරම්මලට යාම සඳහා බසයක් එන තුරු බස් නැවතුමේ රැඳී සිටියදී මෙම අනතුරට ගොදුරුව ඇත.
මාර්ගයේ ගමන් කළ ජීප් රථයක් රියැදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිසුවියද යට කරගෙන ගොස් ලයිට් කණුවක හැපී නතරවී තිබේ. රියේ ගැටුණු සිසුවිය ජීප් රථයත් සමඟ ඇදී ගොස් දුරකථන සහ විදුලි කණු දෙකක් අතර සිර වීමෙන් ඇය එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව කියයි.
රියැදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි. අත්අඩංගුවට ගෙන සිටින සැකකාර රියැදුරා පිළියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේ අයෙකි. ඔහු බීමතින් සිටියාදැයි පරික්ෂාවට ලක් කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

