දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මවුපියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මවුපියන් යොදවා ගැනීමේ දී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදු ව ඇති බව ද, ගැබිණි මවුවරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ යෙදි සිට ඇති බවට පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙන ඒමට බලකරමින්, දරුවන් හා මවුපියන් අපහසුතාවට පත්වන අන්දමේ සිදුවීම් කිහිපයක් පිළිබඳවද පැමිණිලි රැසක් ලැබී තිබේ.
ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය තබමින් පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මවුපියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් මවුපියන් සම්බන්ධ කරගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බවත්, මෙතෙක් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැපකරමින් ලබාදුන් සහයෝගයට සියලු මවුපියන්ට අධ්‍යාපන අමාත්‍යාංශය සිය කෘතවේදිත්වයද පළ කළේය.
කෂිනි හපුආරච්චි
