නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට තිබෙන මාස 02ක කාලය තුළ පාර්ලිමේන්තුවේ අලුත්වැඩියා කටයුතුවලට ප්රමුඛතාවය ලබා දෙන අතර, නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීම සඳහා වන කටයුතුද සිදු කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසීය.
‘අද’ පුවත්පතට කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළාය.එහිදී වැඩිදුරටත් මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙලෙස අදහස් දක්වා සිටියාය.
“පාර්ලිමේන්තුව විසුරවා හැරීම නිසා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ධුර අහෝසි වෙලා තියෙන්නේ. ඒ අනුව ඔවුන්ට පාර්මේන්තුවට ඇවිත් කටයුතු කිරීමට හැකියාවක් නෑ. නමුත් පාර්ලිමේන්තුවේ අපේ අනිත් දෙපාර්තමේන්තු, සියලු කාර්යාංශවල තිබෙන කටයුතු සිදු කරනවා. දැන් කාරක සභා රැස්වෙන්නෙත් නෑ.
නව පාර්ලිමේන්තුව ආරම්භ වුණාම, ඒවා නැවත පිහිටුවන්න ඕනි. මේ කාලය තුළ අපි වැඩි අවධානයක් යොමු කරන්නේ පාර්ලිමේන්තුවේ අලුත්වැඩියා කටයුතු කරන්න. ඒක කරන ගමන් අලුත් පාර්ලිමේන්තු ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා. විශේෂයෙන්ම මහ මැතිවරණයකින් පසු රැස්වන පාර්ලිමේන්තුවේ ප්රථම කාර්ය තමයි ස්ථාවර නියෝග අනුව කථානායකවරයෙක් පත් කිරීම.
ඒ වගේම අලුතින් පත්වුණු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවන්න කලින් ඔහුගේ ප්රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑනේ. උත්සවාකාරයෙක් කිසිවක් කළෙත් නෑ. ඒ අනුව නව ජනාධිපති, නව පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනයේදීම ඒ ප්රකාශය කරන්න කටයුතු කරන්නේ නම් අපි ඒකටත් සූදානම් වෙනවා.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු කිරීමේදී ගෘහ නිර්මාණය සම්බන්ධයෙන් අපි විශේෂ සැළකිල්ලක් දක්වනවා. ජෙෆ්රි බාවා පදනමේ විශේෂඥයන්ගේ අනුමැතියක් නැතිව සුළු හෝ වෙනස්කමක් කරන්නේ නෑ. ඒ අනුව ජෙෆ්රි බාවා පදනම සහ අනෙකුත් විශේෂඥයන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා සකස්කළ ක්රමවත් වැඩපිළිවෙලකට අනුව අපි කටයුතු කරමින් සිටිනවා.”