මියුරු ගීත තනු රැසක් සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30දා) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 93 වියේ පසුවිය.
ෂෙල්ටන් ප්‍රේමරත්න 1931 අප්‍රේල් 29 වැනිදා කොළඹ කොටහේනේදී උපත ලැබූ අතර, , කොටහේනේ සෙක්කු විදියේ කිතුණු ළදරු පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය.වැඩිදුර අධ්‍යාපනය සඳහා කොටහේන මධ්‍ය මහා විද්‍යාලයට ඔහු ඇතුළත් වුණි.
ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්රයට පිවිසෙන්නේ 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍ය හරහාය.නමුත් ඊට පෙර ඒ.පි.එම්. නූර් නම් ව්‍යාපාරිකයා විසින් නිෂ්පාදනය කිරීමට යෙදුනු චිත්‍රපටයක් වූ ‘ජිවිතයේ ප්‍රීතිය’ නම් චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂණයට ෂෙල්ටන්ව තෝරාගෙන තිබුණි.ඔහු මෙම චිත්‍රපටයට ‘කදිරනේ ධීර වීරා’ නම් වූ ගීතය නිර්මාණය කරනු ලැබු නමුත්, අවාසනාවකට මෙම චිත්‍රපටය අතරමඟ නතර විය. එවිට ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ වයස අවුරුදු 17 ක් විය.
පසුකාලීනව ‘දස්කොන්’ චිත්‍රපටයෙන් තම හැකියාව මනාව පෙන්නුම් කළ ෂෙල්ටන් ප්‍රේමරත්න සිසිර සේනාරත්න සමග රුක්මණී දේවිය ගායනා කළ ‘සොම්නස පෙම්රස එකතු වුණා’ ගීතය සිසිර සේනාරත්න සමග ඔහු ගායනා කළ ‘ධර්ම රජයෙනි සැප’ ගීතය දස්කොන් චිත්‍රපටයේ ඇති ශ්‍රාවක සිත් දිනාගත්තේ ය. මෙහි ‘ධර්ම රජයෙනි සැප’ ගීතය සිංහල චිත්‍රපටයක ආ පළමු ශාස්ත්‍රීය ගීතය යි.
ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ විශිෂ්ට නිර්මාණ වෙයි ද.
සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන “My dreams are roses for my love” (රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ) ගීතය සංගීතවත් කළේද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්. මාලිනී බුලත්සිංහල ගායනා කළ “සඳ මඩලේ සිට”, සුජාතා අත්තනායක , සමග මිල්ටන් පෙරේරා ගායනා කළ “සුපුන් සඳක් නැගීලා”, හරූන් ලන්ත්‍රා හා සුජාතා අත්තනායක ගායනා කළ “හංසරානී”, රංජනී පෙරේරා ගායනා කළ “සීතල පාළුව” හා සුජාතා අත්තනායක ගායනා කළ “රන්තරු පුන්සඳ” ගීත ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ විශිෂ්ට නිර්මාණ අතර කැපී පෙනේ.
කලකට ඉහතදී දීපසිඛා නම් වූ චිත්‍රපට උළෙලේ නාවික හමුදාවේ වාදක මඩුල්ල මෙහෙයවන ලද්දේද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.හමුදා සේවක වාදක මණ්ඩලයක් ඉන් බාහිර සංගීතඥයෙකු මඟින් ලංකාවේ දී මෙහෙයවූ ප්රථමයාද වන්නේ ඔහුයි.
ඔහු මිය යන විට ඔහුගේ වැඩිමහල් පුත්‍රයාගේ නිවසේ කල් ගත කළ අතර ෂෙල්ටන් පේමරත්නයන්ගේ අවසන් කටයුතු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි සිදුකිරීමට නියමිතය.
කමල් ශ්‍රී ලියනගේ