බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේ දී ශ්‍රී ලංගම බස් රථයකට ඊයේ(8) පස්වරුවේ යට වූ පදිකයකුගේ පාද දෙක එම ස්ථානයේදී ම සිරුරෙන් වෙන්වී ගිය බව බදුල්ල පොලිසිය පවසයි .
මෙසේ ශ්‍රී ලංගම බස් රථයකට යට වී බරපතළ තුවාල ලැබු බදුල්ල දෙමටවැල්හින්න ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කීය .
මොහු බදුල්ල නගරයේ එදිනෙදා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙවන බවත් , මොහු සිය රැකියා කටයුතු අවසන් කර සවස නිවස කරා යාමට බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ ට පාගමනින් යමින් සිටියදී බණ්ඩාරවෙල සිට බදුල්ල බලා පැමිණි බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයට යට වී ඇතැයි පොලිසිය සදහන් කළේය .
ශ්‍රී ලංගම බස් රථය බදුල්ල නගරයට පැමිණ ප්‍රධාන පිවිසුමෙන් බස්රථය බදුල්ල ප්‍රධාන බස්රථ නැවතුම්පොළ ට ඇතුල් කිරිමේදී මොහු බස්රථයේ ඉදිරිපස වම් රෝදයට යට වී සිරවී සිටියදී අවට ජනතාව මහත් පරිශ්‍රමයක් දරා ඉවතට ගෙන පසුව ත්‍රීරෝද රථයක දමා ගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .
බස්රථය ට යට වූ මොහු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් පාද දෙකට බරපතළ තුවාල සිදු වී පාද දෙක සිරුරෙන් වෙන්වී එල්ලෙමින් තිබූ බවත් මොහු ට කඩිනමින් ප්‍රතිකාර ලබා දී විනාශ වී තිබූ පාද සිරුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමූ බවද බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්දීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කර සිටියහ .
අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංගම බස් රථය සමඟ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
ඇල්ල ප්‍රසාද් රුක්මල්