ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමඟ දියඇල්ලේ ගල්පර්වතයකට නැග ජායාරූප ගැනිමට යාමේදී ගල්පර්වතයෙන් ලිස්සා දියඇල්ලේ අඩි 200ක පමණ පහලට ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි ප්‍රංශ ජාතික විදේශික සංචාරක තරුණිය ඊයේ (9) මියගිය බව ඇල්ල පොලිසිය පවසයි .
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා මෙරටට සිය 20 හැවිරිදි ප්‍රංශ ජාතික විදේශික පෙම්වතා සමඟ පැමිණ සිටි පවුලයින් මොනිකිව් යාකොට් ඩර්කේන් (pauline monique yakout Derkane) නැමති 19 හැවිරිදි ප්‍රංශ ජාතික විදේශික තරුණියක යැයි පොලිසිය කීය .
බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ මහතා ඊයේ (9) මෙම අනතුර සිදු වූ ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල අසලට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කලහ .
බදුල්ල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති මෘත දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා සිදු කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ මහතා ඇල්ල පොලිසිය ට නියම කරනු ලැබූහ .
ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ඉකුත් 25 වන දින මැය මෙරටට සිය විදේශීය පෙම්වතා සමඟ පැමිණ ඇති බවත් , පසුව මෙම විදේශීය පෙම්යුවල ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරිමට පැමිණ ඇති බව පොලිසිය සදහන් කළේය .
එසේ පැමිණි මොවුන් දෙදෙනා තවත් විදේශීය සංචාරක යුවලක් සමඟ ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර , එහිදී මෙම ප්‍රංශ ජාතික විදේශික පෙම් යුවල දියඇල්ලේ ගල්පර්වතයකට නැගී ජායාරූප ගැනිමට යාමෙදි මැය ගල්පර්වතයෙන් ලිස්සා ගොස් දියඇල්ලේ අඩි 200ක පමණ පහලට ඇද වැටී ඇතැයි පොලිසිය පැවසීය .
දියඇල්ලේ ප්‍රපාතයට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මෙම ප්‍රංශ ජාතික විදේශික තරුණිය ගම්වාසීහු එක්වී මහත් වෙහෙසක් දරා ප්‍රපාතයෙන් උඩට රැගෙන විත් සුවසැරිය ගිලන් රථයකින් වැල්ලවාය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඊයේ (9) මියගිය බවද පොලිසිය පවසයි .
බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී කේ යූ ඩබ්ලිව් අබේගුණවර්ධන මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මල්