ඡන්ද විමසීම 2023.03.09 දින කැඳවනු ලැබ එදින පැවැත්වීමට නොහැකිවූ සහ කල්තබා ඇති ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අලුතින් නාම යෝජනා කැඳවා අලුතින් ඡන්ද විමසීම පැවැත්වීමට විධිවිධාන සැළැස්වීමට අදාළ 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන )පනත සඳහාවූ පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි තැනැත්තන්ට අලුතින් ඡන්ද විමසීමේදී ඡන්ද පාවිච්චි කිරීමේ සහ නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය ලබාදීමට මෙන්ම තරුණ අපේක්ෂකයන්ට නාම යෝජනා සිදුකිරීමට විධිවිධාන සැලැස්වීමට අවශ්‍ය වී ඇති හෙයින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බව මෙම මස 01 දිනෙන් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
පැවැත්වීමට නියමිතව තිබූ මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා වලංගු නොවන හා බලාත්මක නොවන ලෙස සලකන බවද ආඥා පනතට අනුව පළකරන ලද දැන්වීම් ප්රත්යාදිෂ්ඨ කරන බවද ,නාම යෝජනා දුන් අපේක්ෂකයන් වෙනුවෙන් සිදුකර ඇති තැන්පතු ඒ බවට දුන් ලදුපත ඉදිරිපත් කලවිට ආපසු ගෙවීමටද ,මෙහි උපලේඛන ගත පළාත් පාලන ආයතන 350 වෙනුවෙන් ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ආරම්භ කළ යුතු බවද මෙම කෙටුම්පත මගින් යෝජනා කර තිබේ.
නාම යෝජනා දැන්වීම් මැතිවරණ කොමිෂන් සභාව මගින් ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයන් මගින් නිශ්චය කරනු ලැබිය හැකි දිනකදී පළකළ යුතු අතර එම දිනය මේ පනත ක්‍රියාත්මක වන දින සිට මාස තුනකට පසු දිනයක් නොවිය යුතු බවද මෙම කෙටුම්පතේ සඳහන්වේ.
ජේ.ඉඳුරුවගේ