වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වුවත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉතාම ධනවත් රටවල් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයමින් සිටින බවත් මුදල් සංචිතයක් නොමැති අප වැනි රටක ආර්ථිකයට එම තත්ත්වය ඉතා තදින් බලපාන බවද ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මේ පසුබිම මත ඇති වූ දේශපාලන අර්බුදයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරනු ලැබුවත් ඊට ලද ප්‍රතිචාර අසාර්ථක වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය බාරගෙන කටයුතු කිරීමට ඇරයුම් කෙරුණ බවද එම නිවේදනයේ දැක්වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත එම ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී තිබෙන බවත් පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය නායකයන් සමග දුරකථනය මගින් මෙන්ම බොහෝ රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කර එම රටවල සහාය ගැනීමට කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වන විට රටට ලැබෙමින් පවතින බවද එම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව,
අත්‍යාවශ්‍ය ඖෂධ තොග මේ වන විටත් ලැබී තිබේ.
ඉන්දීය ණය පහසුකම් යටතේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඇණවුම් කර තිබේ. එහි පළමු පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් රැගත් නෞකාව හෙට (09) දිවයිනට ළඟා වේ.
ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිතය.
විවිධ කෘෂිකාර්මික වැඩසටහන් යටතේ රට තුළ ආහාර හිඟයක් ඇති නොවීමට සියලු කටයුතු යොදා ඇත.
21වන සංශෝධනයට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙළ ඉතා කණගාටුදායක බවත් මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇතැයිද එම නිවේදනයේ දැක්වෙයි.
නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් මගින් රටේ අනාගත දරු පරපුරට යහපත් රටක් ගොඩනැගීමට සහාය වීම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් බවත් පවතින සැබෑ තත්ත්වය නිසිලෙස අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසු නොවී සාමකාමීව හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනපතිවරය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.