- දෙසැම්බර් 15න් පසු කාලසීමාව තුළ පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමට නිර්දේශ
- පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස නිර්දේශ
- පරාටේ නීතියට යටත්ව ණය ලබාගැනීම බෙදීගිය ආකාරය පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහාවන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය හිමි විය.
මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැවසුවේ මේ මගින් තාවකාලික සහනයක් ණය හිමියන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටියේ දෙසැම්බර් මස 15න් පසු මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්නයි. මේ අනුව පැමිණි නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබාදීමට අපොහොසත් වූ අතර කමිටුව නිර්දේශ කළේ දෙසැම්බර් 15න් පසු පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
එසේම පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසද මෙහිදී කමිටුව නිර්දේශ කළේය.
තවද පරාටේ නීතියට යටත්ව ණය ලබාගැනීම බෙදීගිය ආකාරය පිළිබඳවද කමිටුව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි. විශේෂයෙන්ම ක්ෂුද්‍ර පරිමාණ, කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙම නීතියට යටත්ව ණය ලබාගැනීම සිදුව ඇති ආකාරය සහ මෙසේ කාණ්ඩ කරන්නේ කුමණ නිර්ණායකයන්ට යටත්වද යන්න පිළිබඳව මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විසින් විමසන ලදි. මේ පිළිබඳ නිවරදි දත්ත නිලධාරීන් සතුව නොපැවති අතර එම දත්ත කාරක සභාවට ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
එසේම මෙහිදී ක්ෂේත්‍ර වශයෙන් අවධානය යොමු කිරීමේදී වැඩි වශයෙන් අගතියට පත් ක්ෂේත්‍ර මොනවාදැයි ප්‍රතිශත වශයෙන් විමසා බැලීමද කමිටුව විසින් සිදු කරන ලදි. තවද 2020,2021 සහ 2022 යන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ආර්ථිකමය අවපාතයක් පැවති විශේෂිත කාලසීමාවට සපේක්ෂව අනෙකුත් කාලසීමාව තුළ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවද දත්ත ලබාදෙන ලෙසද මෙහිදී කමිටුව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදි. මේ පිළිබඳ දත්ත ඉදිරියේදී කමිටුවට ඉදිරිපත් කරන බව පැමිණි නිලධාරීන් මෙහිදී සඳහන් කළේය.
මීට අමතරව 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ වන නියෝග සඳහාද, 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ වන රෙගුලාසි සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. එසේම 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන රෙගුලාසි සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය.