2024 දෙසැම්බර් 15 දක්වා පරටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වූ බැංකු මගින් ප්රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී ආණ්ඩු පක්ෂය විරුද්ධ වීමත් සමග අවස්ථා දෙකකදී ඡන්දයක් පැවැත්වූ අතර, එම අවස්ථා දෙකේදීම විපක්ෂය පරාජයට පත්විය.
එහිදී විපක්ෂනායකවරයා ඉදිරිපත් කළ සංශෝධනයට කැමැත්ත විමසීම සඳහා පැවති ඡන්දයේදී පක්ෂව ඡන්ද 25ක්ද, විපක්ෂව ඡන්ද 50ක් ලැබුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා මෙහිදී ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය.
අනතුරුව අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා සංශෝධන ඉදිරිපත් කළ අතර, එම සංශෝධන සඳහා කැමැත්ත විමසීමේ ඡන්දයේදී පක්ෂව 19ක්ද, විපක්ෂව ඡන්ද 49ක් ලැබුණු අතර, එහිදීද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.