ඡන්දය දුන් ජනතාවගේ ආත්මය පාවා දෙන ඩීල් දේශපාලඥයන් වර්තමානයේ මතු වෙමින් තිබෙන බවත්, ඉදිරියේදී තවත් ඩීල් ජනතාවට දැකගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කුරුණෑගල, මාවතගම, පරගහදෙනිය ජාතික පාසලට සක්වළ වැඩසටහනේ සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"මේ කාලයේ කණ්ඩායම් සියල්ල ඩීල් දාලා තියෙන්නේ. ජනතාවගේ ඡන්දයෙන් මැතිසබයට ඇවිල්ලා ඡන්දය දුන්න අයගේත් ආත්මය පාවා දෙන මහා පාවාදීමේ සංස්කෘතියක් අද දේශපාලන සමාජයේ තිබෙනවා. ලැජ්ජ නෑ. ආපු ගමන අමතකයි. කොහෙන්ද ආවේ කියලා අමතකයි. මේ රටේ 41 ලක්ෂයක් දූ දරුවන් තුට්ටු දෙකට, සිල්ලරයට අලෙවි කරලා, මේ දූ දරුවන්ට වින කරලා රටේ දරු පරපුර විනාශ කරන කල්ලි දේශපාලඥයෝ, ඩීල් දේශපාලඥයෝ ගණනාවක් අද පොඩ්ඩ පොඩ්ඩ මතුවෙනවා. ඉදිරියේදී හොඳ හොඳ ඩීල් ඔබට බලාගන්න පුලුවන් වෙයි.
මම විශ්වාස කරනවා, හැමෝම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා තමන් වදාපු මවගේ ආත්මයත් තුට්ටු දෙකට, සිල්ලරට විකුණලා ලාභ ප්‍රයෝජන සඳහා රටේ ලක්ෂ 220ක් වහලුන් හැටියට සලකලා ඩීල් ගහන දේශපාලඥයන්ට මේ අවුරුද්දේ හොඳ හොඳ උත්තර රැසක් ලැබෙයි."