කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවදානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන්පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහානගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.
එහෙදී තවදුරටත් අදහස් දැක්වු කරුණාරත්න මහතා ,
“2020 වසරේ නුවරඑළිය වසන්ත උත්සවය සඳහා නුවරඑළිය මහානගර සභාව සුදානම් වුයේ 2019 වසරේ දෙසැම්බර් මාසේ සිටයි. රට තුල පැන නැගුණු විශේෂ තත්ත්වය හමුවේ එම උත්සවය තාවකාලිකව කල් දැමීමට තීරණය කරනු ලැබුවා.
ඉන්පසුව රටේ පවතින තත්ත්වය මත නුවරඑළිය නගරයේ සෞඛ්‍ය වැඩ සටහන්වලට මුල්තැන දෙමින් කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ට නගර සභාව මගින් වියළි ආහාර ද්‍රව්‍ය සහනදායි මුදලට ලබාදීමේ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.
රටේ පවතින මෙම අර්බුදකාරී වතාවරණය හේතුවෙන් නුවරඑළිය නගරයේ මහා පරිමාණ හෝටල්වල සිට කුඩා හෝටල්හිමියා දක්වා සියලු දෙනාගේම ආදායම් මාර්ග නැවතී ගොස් තිබෙනවා. ඔවුන් අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩ සටහන් කීපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වතුර බිල් පත්, වරිපනම් බිල්පත් වැනි ගෙවීම්වලින් භාගයක් පමණක් අය කර ගැනීමේ වැනි වැඩ සටහන් සිදු කිරීමට ඒ අනුව අපේක්ෂා කරනවා.
කොරෝනා මර්දන කටයුතු හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වැනි රජයේ වැඩපිළිවෙල පිළිබඳව සෑහීමකට පත්විය හැකියි. මහනගර සභාවක් හා පළාත් පාලන ආයතනයක් වශයෙන් අපේ බලාපොරොත්තුව සියලුම ශක්තිය යොදවලා අපේ වියදම් අඩු කොට රජයට සහයෝගය දැක්වීමයි. මේ අවස්ථාවේ පළාත් පාලන ආයතනයක් වශයෙන් රජයට සහයෝගය දිය යුතුමයි. අපි ඒ දෙය නොපිරිහෙලා ඉටු කරමින් සිටිනවා යයි” පැවැසීය.