ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ජින් ෆැන්කොයිස් පොක්ටෙට් මහතා රාජගිරියේ පිහිටි ඔහුගේ නිල නිවෙසේ නිදන කාමරයේ ඇඳක් මත මියගොස් සිටිය දී ඊයේ (26) දින දහවල් සොයාගෙන තිබූ අතර 53 හැවිරිදි ඔහුගේ මරණය තවම අභිරහසකි.
ජීන් ෆ්රැන්කොයිස් පැක්ටේට් මහතා 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ශ්රී ලංකාවේ, ප්රංශ තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිට ඇත.
ප්රංශ තානාපතිවරයා තනිවම නිල නිවාසයේ වාසය කරමින් සිටි අතර තානාපතිවරයා උදෑසන අවදි නොවීම නිසා ප්රංශ තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් ඒ ගැන විපරම් කර බැලීමේ දී සිරුර නිදන කාමරයේ ඇඳ මත තිබෙනු දැක ඔහුගෙන් ප්රතිචාර නොමැති නිසා වැලිකඩ පොලිසියට දැනුම් දී ඇත. මරණයට හේතු තවමත් අනාවරණය වී නොමැත.
මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මරණ පරීක්ෂණය ඊයේ (26) රාත්රියේ දී සිදුකර තිබෙයි. පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තානාපතිවරයාගේ මරණයට හේතු සොයා ගැනීමට වැලිකඩ පොලිසිය කටයුතු යොදා ඇත.
තානාපතිවරයාගේ අවසන් කටයුතු පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති අතර දේහය යළි ප්රංශය වෙත රැගෙන යන්නේ ද නැත්නම් අවසන් කටයුතු මෙරටදී සිදුකරන්නේ ද යන්න පිළිබඳ තීරණය අද දිනය තුළ ලබා දෙන බව තානාපති කාර්යාලය දන්වා ඇත.