මෙරට සියලු දෙනාට නිදහසේ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට ඉඩ දීම භයානක තත්ත්වයක් බවත් එය ඉදිරියේදී නියාමනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ යොදන බව නව ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතා පවසයි.
නව ගුවන් හමුදාපතිවරයා ඊයේ (08) පෙරවරුවේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළේය.
එහිදී ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඩ්‍රෝන යානා නියාමනය පිළිබඳ ලොව කිසිදු රටක පිළිගත් ක්‍රමවේදයක් නොමැති වුවද මෙරට ඩ්‍රෝන යානා හැසිරවීම පිළිබඳව අවශ්‍ය නියාමනය වහාම සිදුකළ යුතුව තිබෙන බවත් එසේ නොවුන හොත් ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇති විය හැකි බවත්ය.
ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා ලෝකයේ අනෙකුත් ගුවන් හමුදා සමග ගනුදෙනු කළ හැකි ආකාරයට නවීන තාක්ෂණික උපාංග සවිකල යුතු තිබෙන බවද අවධාරණය කළ නව ගුවන් හමුදාපතිවරයා ශ්‍රී ලංකාව දූපතක් බැවින් නාවික හමුදාව සමග එක්ව සමුද්‍ර නිරීක්ෂණණ කටයුතු නිරන්තරයෙන් කළ යුතුව තිබෙන බවද පැවසීය.
රට තුළට නීති විරෝධී මත්ද්‍රව්‍ය, සරණාගතයන් පැමිණීම සහ පිටවීම, මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදීම ඇතුළු නීති විරෝධී කටයුතු රාශියක් වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශාල වගකීමක් පැවරී තිබෙන බවද පැවසීය.
එම කටයුතු සිදුකිරීම සඳහා ඇමෙරිකාවෙන් බීච් 360 නැමැති නවීන ගුවන් යානයක් පරිත්‍යාග වශයෙන් ලබුන බවත් ඒ හා සමාන තවත් ගුවන් යානයක් ඔස්ට්‍රේලියාවෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණ බවත් එම ගුවන් යානා දෙක උපයෝගී කරගනිමින් එහි ඇති පරිගණක පද්ධතිය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකා ඉහළ අහසේ සිට හඳුනාගත හැකි බවද ගුවන් හමුදාපතිවරයා පැවසීය.
ෂේන් සෙනෙවිරත්න