මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනයට පියවර.
නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ජනපති මඩකලපුවේ දී කියයි.
ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.
මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149වන සංවත්සරයට සමගාමීව විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද කටයුතු කර තිබුණි.
මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සමත් සිසු සිසුවියන්ට තිළිණපත් පිළිගැන්විම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
"මඩකලපුව කියන්නේ වාසනාවන්ත දිස්ත්‍රික්කයක්. වසර 150ක ඉතිහාසයක් තිබෙන පාසල් දෙකක්ම මෙම දිස්ත්‍රික්කයේ තිබෙනවා. ඊයේ මම ශාන්ත මයිකල් විද්‍යාලයේ එකසිය පනස් වන සංවත්සරයට සහභාගි වුණා. අද චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයට පැමිණ තිබෙනවා.
දිවංගත අමාත්‍ය කේ .ඩබ්ලිව්. දේවනායගයන් මහතා අධ්‍යාපනය ලැබුවේ මෙම පාසලේයි. එතුමා සමඟ මම ජේ.ආර් ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලයේ එකට වැඩ කළා. චෙන්කලඩි සහ කල්කුඩා ප්‍රදේශවල දරුවන්ට ඉතා උසස් ලෙස මෙම පාසලෙන් අධ්‍යාපනය ලබා ගැනිමට හැකි වුණා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්ව ඇති සිසුන් සංඛ්‍යාව දෙස බැලූ විට එය අවබෝධ කරගත හැකියි. ඒ වගේම ඇතැම් සිසුන් ගණකාධිකරණය ඇතුළු වෙනත් පාඨමාලාවන් හදාරනවා. ඒ වගේම මෙම සිසුන් තාක්ෂණ අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. නමුත් මෙම පාසලට තාක්ෂණාගාරයක් නැහැ. ඒ නිසා උසස් මට්ටමේ තාක්ෂණ විද්‍යාගාරයක් මෙම පාසලට ලබාදීමට මම කටයුතු කරනවා. මෙම පාසල තවත් දියුණු විය යුතුයි. මෙහි සිසුන් අධ්‍යාපනයට පමණක් නොව නර්තනයට හා රංගනයටත් දක්ෂයි.
අද චෙන්කලඩි ප්‍රදේශය දියුණු වී තිබෙනවා. මෙම ප්‍රදේශ තවත් දියුණු කළ යුතුයි. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් බිහිවු අමාත්‍යවරුන් වන දේවනායගන් මහතා මෙන්ම රාජදුරේ මහතාගේද ප්‍රාර්ථනය වුයේ එයයි. එම ප්‍රාර්ථනය අප ඉටු කරන බව කියන්න කැමතියි.
මඩකලපු දිස්ත්‍රික්කය අධ්‍යාපනයෙන් දියුණු වී තිබෙනවා. නමුත් ආර්ථිකයෙන් තවමත් ශක්තිමත් වී නැහැ. ඉදිරි වසර 10 ක සැලැස්ම තුළ මඩකලපුව දිස්ත්‍රික්කය ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ජේ .ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මහවැලි ව්‍යාපාරය හරහා මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණා. නමුත් යුද්ධය නිසා එය සිදුකර ගැනීමට නොහැකි වුණා. මේ වන විට ඉන්දියාව සමග එක්ව ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය මහා නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
කටුනායක බියගම අක්කර 400ක ආයෝජන කලාපයක් තිබෙන්නේ. නමුත් ත්‍රිකුණාමලය අක්කර 1000ක ආයෝජන කලාපයක් බිහිකිරීමට සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය ක්‍රමානුකූලව දියුණු කිරීමට කටයුතු කළයුතුයි. ඒ වෙනුවෙන් සුබානා ජුරෝන් සිංගප්පූරු සමාගම සැලැස්මක් සකස් කර තිබෙනවා. එය ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.
එවිට ත්‍රිකුණාමලය විශාල නගරයක් ලෙස සංවර්ධනය වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් කෘෂිකර්මාන්තය දියුණු කළයුතුයි.
මහවැලි ව්‍යාපාරයන් මඟහැරුණු මහවැලි ඒ හා බී කොටස් දෙක සංවර්ධනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ නවීන කෘෂි කර්මාන්තයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පළාත දැන් සහලින් ස්වයංපෝෂිත වී තිබෙන අතරම නව වගාවන් හඳුන්වා දීමටත් කටයුතු කරනවා. ගව පට්ටි පාලනය සඳහා නව සතුන් ලබාදෙමින් දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ අඹේවෙල වැනි දේශීය සමාගම් මෙන්ම විදෙස් සමාගම්වල සහයෝගය ලබා ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.
නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් නිලාවේලි සිට පානම දක්වා සංචාරක කලාපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. වනාන්තර සහ වැව් ආශ්රිත ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
ත්‍රිකුණාමල නගරය සංවර්ධනය, මහවැලි ඒ සහ බී කොටස් දෙක සංවර්ධනය කිරීම සහ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ඊළග වසර 10 තුළ කටයුතු කරනවා. මේ සමග මෙම පළාත්වල නව ආර්ථිකයක් ඇති වෙනවා. දැනට තිබෙන ප්‍රශ්නයක් වන කිරි ගොවීන්ගේ අයිතිය ආරක්ෂා කර දීමට ද අප කටයුතු කරනවා."