ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් තම පක්ෂය ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කලාවැව ආසන බල මණ්ඩල සම්මේලනයේදී පැවසීය.
"සටන අරඹමු රජරටින්" යන තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ ඊයේ(26) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුවේදී මේ බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අනාගත දරුවන්ගේ පක්ෂයයි.ඒ හේතුවෙන් ඉදිරියේදී බුද්ධිමත් තීරණයක් මේ රටේ ජනතාව ගනීවි.විවිධ අය විවිධ කතා කියාවි.තව අවුරුදු පහකට දහයකට ඡන්ද තියන්න ඕනේ නෑ කියලා.එහෙම වෙන්නේ නෑ.ඉදිරියේදී අනිවාර්යෙන් මැතිවරණ තියෙනවා.මහින්ද රාජපක්ෂ කිසිදා බොරු පොරොන්දු දීලා නෑ.මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ ඉතිහාසයේ ඒකයි.
අපි පිහිටවන ඊළඟ ආණ්ඩුව කෘෂිකාර්මික ආණ්ඩුවක් වෙනවා.එය නව තාක්ෂණය හා බද්ධ වූ එකක්.මැයි මාසය කිව්වාම බෞද්ධයන් වන අපටත් රටටත් වැදගත්.ඒ වෙසක් පෝය බෞද්ධයන්ගේ සම්බුදු තෙමගුල සිහි කිරීම හේතුවෙන්.අනිත් කාරණය තමයි මේ රටේ තිබූ වසර තිහක කුරිරු ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ විසින් අවසන් කළ රට එක්සේසත් කිරීම.අපි හදපු ආණ්ඩුව ඇතුලෙත් පිටත් කුමන්ත්‍රණය කළා. මේ සඳහා ජාත්‍යන්තර බලවේග ත්‍රස්තවාදී සංවිධාන පවා සිටියා."
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. වීරසිංහ,සංජීව එදිරිමාන්න,රෝහිත අබේගුණවර්ධන,තිස්ස කුට්ටිආරච්චි,ජෝන්ස්ටන් ප්‍රනාන්දු,එස් එම් චන්ද්‍රසේන,එස් සී මුතුකුමාරණ,ගමගේ වීරසේන,කලාව ආසන සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් ,හිටපු පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහජන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.
මෙම ආසන සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහභාගි වී සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැමිණ නොසිටීම මෙහිදී විශේෂත්වයකි.
අනුරාධපුර විශේෂ බී.ජී. චතුරංග / බුල්නෑව ප්‍රදීප් රණතුංග