පොලිස්පති ධුරයට නමක් යෝජනා වීම තවත් කල් යන ලකුණු
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමග මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා සුදුසු නිලධාරියකු පත්කිරීම තවදුරටත් කල්ගත වෙනු ඇති බවට වාර්තා වෙයි.
මීළඟ පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්වීමට ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනෙකු ඉදිරියෙන්ම පසුවන අතර ඔවුන් සම්බන්ධයෙන් ජනපති ලේකම් කාර්යාලයට ලිපිගොනු දෙකක් නඩත්තු කිරීමට සිදුව ඇතැයිද වාර්තාවෙයි.
එම ලිපිගොනු දෙකෙන් එකක් අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොලිස්පති ධුරයට පත්කරක ලෙස කර ඇති විවිධ ඉල්ලීම් වල එකතුවක් වන අතර අනෙක් ලිපිගොනුවේ එම නිලධාරීන් පොලිස්පති ධුරයට පත් නොකරන ලෙස කරන ලද විරෝධතා ඉල්ලීම්වල එකතුවක් බව ද වාර්තාවෙයි.
මෙම ලිපිගොනු දෙකෙන් වැඩි ලිපි ප්‍රමාණයක් ලැබී ඇත්තේ අදාළ නිලධාරීන් පොලිස්පති ධුරයට පත් නොකරන ලෙසට කළ විරෝධතා ඉල්ලීම් ඇතුළත් ලිපිගොනුවට බවත් වාර්තාවෙයි.
පොලිස්පති ධුරයට පත්කිරීමට යන ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් මෙරට ආගමික නායකයන්ගෙන්, දේශපාලනඥයින්, සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වවලින් මෙම ඉල්ලීම් හා විරෝධතා ලිපි රැසක් පසුගිය දින කීපය තුළ දී ජනාධිපති කාර්යාලයට යොමුවී තිබිණි.
මේ නිසා මෙම ඉල්ලීම් හා විරෝධතා සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීම නිසා නව පොලිස්පතිවරයෙක් පත්කිරීම ජනාධිපතිවරයා විසින් තවදුරටත් කල් කල් දමා ඇතිබවද වාර්තාවෙයි.
හිටපු පොලිස්පතිවරයාගේ ධුර කාලය පසුගිය මස 25 දා අවසන් වූ අතර, ඒ අනුව පොලීසිය තුළ සිදු කළ යුතු ප්‍රධාන කාරණා මේ වන විට පොලීසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා හරහා සිදුවන බව ද වාර්තා වෙයි.
ඔහුට අමතරව පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ) ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සබරගමුව) පී.පී.එස්.එම්. ධර්මරත්න යන මහත්වරු ඉදිරියෙන් සිටින නිලධාරීන් වෙති.
නව පොලිස්පතිවරයා පත්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතු අතර, එහිදී එක් නමකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3 ක සේවා දිගුවක් දෙනු ලැබීය. ඒ අනුව ඔහුගේ සේවා කාලය පසුගිය 25 දා අවසන් වීමෙන් නව පොලිස්පතිවරයා පසුගිය 26 දා පත්වීමට නියමිතව තිබුණි.