මෙම සතියේ පාර්ලිමේන්තුව 17දා සහ අනිද්දා 18දා යන දින දෙකේදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. හෙට දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී නවක මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව ඇත.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆයිසර් මුස්තාපා මහතාද, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සුජීව සේනසිංහ, නිසාම් කාර්යප්පර්, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මහත්වරුන්ද නම් කර ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ඔවුන් හෙට දිනයේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.
අනතුරුව නව කථානායකවරයෙකු පත් කර ගැනීම සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ‘අද’පුවත්පතට පැවසුවාය.
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත් වූ අසෝක රංවල මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරයේ පුරපාඩුවක් ඇති විය.
මේ අතර කථානායක අසෝක රංවල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දී ඇත.
ඒ අනුව හෙට දිනයේ දී කථානායකවරයෙකු පත් කිරීමේ කටයුතු සඳහා සියල්ල සූදානම් බවත්, නම් එකකට වැඩි ප්‍රමාණයක් ලැබුණහොත් කථානායකවරයා පත් කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීමට සූදානම් බවත් මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.