එක කුස උපන් තම සහෝදරියගේ ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පසුව ගෙල මිරිකා ඇය ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකාර සහෝදරයෙකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත්බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය. ඊට අමතරව සිය සහෝදරිය ගෙල මිරිකා මරා දැමීමට පෙර ඇය ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කොල්ල කෑමේ චෝදනාවට විත්තිකරුට වසර දහයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක්ද ගෙවන ලෙසටද නියෝග කළේය.
දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසරක ලිහිල් සිර දඬුවමක්ද නියම කෙරිණ. විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විවෘත අධිකරණය අමතමින් පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.
ඒ අනුව මෙතැන් සිටි මහනුවර දිස්ත්රික්කයේ පල්ලේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයට ගෙන ගොස් ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජයේ ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලබන දිනයක හා ස්ථානයකදී යුෂ්මතා (විත්තිකරු) බොටුවෙහි වැලලා ප්රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට තමා නියෝග කරන බවද මහාධිකණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ස්වකීය තීන්දුව ප්රකාශයට පත් කරමින් සඳහන් කළේය. මෙසේ මරණ දඬුවම සහ සිර දඬුවම් නියම වූයේ පොළොන්නරුව තල්පොත පදිංචිකරුවෙකු වන කේ. ජී. ටිකිරිබංඩා නමැත්තෙකුටය.
2013 වසරේ අගෝස්තු මස 13 දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප්රදේශයට අයත් තල්පොතදී එක කුස උපන් සිය බාල සහෝදරිය වන කේ. ජී. ලොකු මැණිකේ යන අය ගෙල බැඳ සිටි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පසුව ගෙල සිර කර තම සහෝදරිය මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්රහයේ 296 වැනි වගන්තිය යටතේ සහ රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකෑ බවට ලංකා දණ්ඩ නීති සංග්රහයේ 380 වගන්තිය ප්රකාරව මෙම විත්තිකරුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.
මෙම නඩුව විභගයට ගැනුණු අවස්ථාවවලදී නඩුවට අදාළ කිසිදු ඇසින් දුටු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් නොවූ අතර පරිවේෂණීය සාක්ෂි පමණක් උපයෝගි කර ගෙන නඩුව විභාග කර විත්තිකරු වරදකරු කරමින් නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීමට මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා සමත්වීම විශේෂත්වයකි.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පැවති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සදඟා පොළොන්නරුව මහාධිකරණයට යොමු කර තිබිණ.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ නිමංක ජයවික්රම මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ චන්දික තිලකරත්න මහතා පෙනී සිටියේය. සිය නැගණිය ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා ගෙල සිර කර ඇය මරා නිවසේ ඇඳ යට සඟවා ඇති විත්තිකාර අයියා පසුව නැගණියගේ අවමගුලටත් පැමිණ සිට ඇති බව නඩු විභාගයේදී අනාවරණ විය.
අනතුරුව අවමගුල් උත්සවයට ශබ්ද විකාශ යන්ත්රයක් රැගෙන ඒමට යන බව පවසා අවමගුල් ගෙදරින් පිටත්ව ගොස් ඇති විත්තිකරු ප්රදේශයෙන් පලා ගොස් සැඟව සිටියදී පුලස්තිපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබූ බවද නඩු විභාගයේදී හෙළි විය. පුලස්තිපුර පොලීසිය මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණ.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද