වැලිගම පැලෑන ඩබ්ලිව් 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින පොලිස්පති ධූරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් විමර්ශන සිදු කරනු ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2023 වසරේ දෙසැම්බර් මස 31 වෙනි දින එම හෝටලය ඉදිරිපිට වෙඩි තැබීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්රාත් අධිකරණයේ විභාග නඩුවකට අදාළව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති. ඇන්සලම් සිල්වා ඇතුළු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉකුත් 27.අධිකරණය මගින් නියෝග කර තිබිණි.
එම නියෝගයෙහි පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපති තුමා හා වැඩ බලන පොලිස්පතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් හය දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා රිට් පෙත්සමක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව නීතිපතිතුමා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයේදී ඇති කරනා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසුව ඔවුන්ගෙන් ප්රකාශ සටහන් කිරීමටත් නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.