Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා
2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා
මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල තත්වයක් බැවින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන්නැයි දන්වමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හා ඔහුගේ රියදුරු මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (25) නියෝග කලේය.
අධිකරණය යනු මහජනතාවගේ බලයෙන් පිහිටුවනු ලැබු ආයතනයක් බව ද කවුරුන් හෝ ඊට අභියෝග කරන්නේ නම් එය මහජන බලයට හා මහජන විශ්වාසය පළුදු කරන්නක් බව ද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේය.
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරීපිට සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වු අතර ඊට කුමන්ත්‍රණය කිරීම යටතේ පොලීස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දින 21 ක් රිමාන්ඩ් භාරයේ තබා ඉකුත් 10 වැනි දින ඇප ලබා දුන්නේය.
එහීදී ඔහු ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණ භූමියේ සිට මෝටර් රථයක නැගී යාම හේතුවෙන් අධිකරණ නියෝග කඩ කර අධිකරණයට අපහාස කොට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කලේය.
එහිදී සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට හා ඔහුගේ මෝටර් රථයේ රියදුරුට අද (25) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසී නිකුත් කෙරීණි.
ඒ අනුව තෙන්නකෝන් මහතා හා රියදුරු වන රොෂාන් ලක්ෂිත කරුණාරත්න යන අය අද උදෑසන 9.00 ට පමණ මාතර අධිකරණය ඉදිරිපිටට මෝටර් රථයෙන් පැමිණ ශරීර පරික්ෂාව සිදු කර සාමාන්‍ය පරිදි ඇතුළු වී අධිකරණ ශාලාවේ බංකුවක සවස 2.15 පමණ වන තෙක් අසුන් ගෙන සිටියේය.
ඉන් පසුව පැමිණිල්ල වෙනුවෙන් කරූණු ඉදිරිපත් කිරීමට රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමීණී අතර නඩුව කැදවු අවස්ථාවේ දී මෙසේ කීය.
“පසුගිය 10 වැනිදා ඔබතුමා මෙම අධිකරණයේ දී ඇප සම්බන්ධව නියෝගයක් නිකුත් කලා.ඒ වෙලාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අද ඇවිත් නැහැ.ඔහු එදින මෙම ප්‍රධාන සැකකරුට අධිකරණයෙන් එලියට යද්දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටියා.ඒ වගේම වාහනයක් ගෙනල්ලා යන්න ඉල්ලුවා.එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔබතුමා නියෝගයක් ලබා දුන්නා.ඒ නියෝගය ලියපු පෑනේ තීන්ත වේලෙන්න කලින් මේ සැකකරුවන් ඒ නියෝගය උල්ලංඝනය කලා.
මම එදා ඔබ තුමා ඉදිරියේ ප්‍රකාශ කලා මෙම සිද්ධියේ ප්‍රකාශයක් දුන් මේ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ආරක්ෂාවක් ඉල්ලා සිටින බව.එම නිසා මෙම ප්‍රධාන සැකකරු සිටිය යුත්තේ සමාජ ගත කර නොව රිමාන්ඩ් භාරයේ බව මම ප්‍රකාශ කලා.කෙසේ වෙතත් ඔහුට ඇප හිමි වුණා.ඒ ඇප නියෝගය ප්‍රතිශෝධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ තරම් බරපතල සිදු වීමකට සම්බන්ධ වු රජයේ ඉහලම තනතුරක් දරන මොහු බොහොම උජාරුවෙන් බී.එම්.ඩබ්ලිව් රථයක නැගී අධිකරණයෙන් යනවා අපි මාධ්‍යය වලින් දැක්කා.මේ අධිකරණයට අපරාධකරුවකු එනආ නම් එන්න ඕනඅ ටයි කෝට් දාගෙන නොවේ බිම දිගේ දණ ගාගෙන බඩ ගාගෙනයි. ආපසු යන්න ඕනත් එහෙමයි. වින්දිතයින් කෝට් දාගෙන ආවට කමක් නැහැ.කොහොම හරි සමත් වුණා.කෝට් එක ගලවලා අධිකරණයට ගේන්න.මම එදත් කිව්වා මොහු සංවිධානාත්මක අපරාධකරුවකු බව.සල්ලි තියෙනවා.බලය තියෙනවා.
පාතාල කල්ලි නායකයින් වුනත් එහෙමයි.පිටරට ඉදන් මෙහේ මිනී මරවනවා.මෙම සැකකරුත් පසුගිය 10 වැනිදා තමන්ගේ ආධිපත්‍යය බලය පෙන්නුවා.අධිකරණය මොනවා කීවත් නීතිඥ මහත්වරු මොනවා කීවත් මම මෙහෙමයි කියන දේ පෙන්නුවා.ඔබ තුමා කීවා අධිකරණයට එන සෑම පුරවැසියකුම සමානයි කියලා.එහෙත් අසමානයි කියන එක පෙන්නුවා.මම ඕවට බය නෑ කියන එක පෙන්නුවා.වෙන වෙන ජෝගිත් ඇප ලබා ගැනීමෙන් පසු දැම්මා කියලා අපිට ආරංචියි.සාක්ෂී නැති නිසා මේ වෙලාවේ ඒවා ගැන මම කියන්න යන්නේ නෑ.
වෙනදා එස්.ටී.එෆ් හා එම්.එස්.ඩී.පිරිවරාගෙන වාහන වලින් එන ඔහු අද උදේ 9.00 වෙද්දී ප්‍රධාන දොරටුවෙන් ඇවිත් ඔබතුමාට දර්ශනය වන පරිදි මේ බංකුවක සවස 2.15 වෙනකම් වාඩි වෙලා හිටියා.මොහුගේ මේ රංගනයට ඔස්කා සම්මාන දීලත් මදි.අධිකරණ නියෝගය බරපතල විදියට උල්ලංඝනය කරලා දැන් දාන රංගනය බලන්න.
මෙතන වාඩි වෙලා ඉන්නවා බාර් 12 ක අයිතිකාරයෙක්.ඔහුගෙන් ප්‍රශ්න කරන විටත් බොරු උත්තර දුන්නේ.අත්අඩංගුවට ගන්න හදන විට රෝහල් ගත වුණා.එක දවසින් ඇප ගත්තා.ඔවුන් කරන මේ ක්‍රියාවලියෙන් සිදු වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්.
මේ අධිකරණය තුලට මෝටර් රථය ගෙනාපු මේ සැකකරු ප්‍රකාශ කලේ නීතිඥවරයෙකු රැගෙන යන්න මෝටර් රථය අධිකරණ භූමියට රැගෙන ආ බව.ඔහුත් පලමු සැකකරු වගේම චරිතාංග නළුවෙක්.මේ අධිකරණයට ආපූ ගිහාන් කියන පුද්ගලයෙක් මේ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී වීජේසේකට කෝල් එකක් අරන් වාහනය ඇතුළට ගන්න අවසරය ඉල්ලා තිබෙනවා.ඒ මිත්‍රත්වය මත තමයි වාහනය ඇතුළට ගෙනත් තිබෙන්නේ.ඔබ තුමා කිව්වා දුරකතන වාර්තා ලබා ගන්න කියලා.ඒ අනුව තමයි තොරතුරු හෙලි වුනේ.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ÷
ඒ.එස්.පී ට මොකක්ද තියෙන ඒ තරම් බලය මේ අධිකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න.මහාධීකරණ විනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.ඒක අතික්‍රමණය කරන්න ඒ.එස්.පී.ට තියෙන බලය කුමක්ද ?
රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් -
ඒක තමයි ස්වාමීනී.ගිහාන් කියන අයෙක් තමයි.ඒ.එස්.පී.ට දුරකතන ඇමතුම අරගෙන තියෙන්නේ.මේ දෙවැනි සැකකරු තමයි වාහනය පදවා තිබෙන්නේ.ඔහුත් ඇප මත සිටින අයෙක්.මේ මෝටර් රථයේ හතර දෙනෙක් නැගලා ගිහින් තිබෙනවා.නීතිඥ මහත්තයෙකුත් නැග්ගලු.ඔහු හයිවේ පිවිසුම ලගින් බැස්සලු.ඔහුගේ නම දන්නේ නැතිලු.ඒ විදියට මොවුන් පරික්ෂණ නොමග යවන්න බොරු කියනවා ස්වාමිණී.
ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා එදා මේ අධිකරණයට පොරොන්දු වුණා තම සේවා දායකයාට හොදින් ඉන්න කියා උපදෙස් දෙන බවට.ඒ නිසා ඔහුටත් වගකීමක් තිබෙනවා.මේ සැකකරු සම්බන්ධයෙන්.ඉකුත් අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 159,දෙනෙක් අත්සන් කරලා මේ සැකකරුට විරුද්ධව යෝජනාවක් සම්මත කලා.ඒ චෝදනා වලින් 18 ක්ම තියෙන්නේ වැලිගම සිද්ධියට අදාලව.විෂමාචාර ක්‍රියා සිදු කිරීම වගේම බලය අයුතු ලෙස යොදා ගැනීමත් ඒ අතර වෙනවා.තමන්ට එරෙහිව ඒ තරම් චෝදනා ගෙනවිත් තිබියදීත් ඒ කිසිවක් ගණන් නොගෙන තමන්ගේ බලය පෙන්වන්න ඔහු කටයුතු කලා.
හරි වැරදීමක් වුනා කියමු.අද වන තුරු මේ අධිකරණයට ඇවිත් සමාවක් ඉල්ලුවද ?නොතීසියක් යැව්ව බව මාධ්‍ය මගින් ප්‍රචාරය කලා.පහුවෙනිදම මෝසමක් දාලා ඉදිරිපත් වෙන්න තිබුණා.එහෙම කලේ නෑ.අදටත් අපි දන්නේ නෑ.සැගවී සිටි දවස් 19 තුල ඔහු මොකද කලේ කියලා.අභියාචනාධිකරණය පවා නියෝග කලා.සැගවී සිටීමට ආධාර අනුබල දුන් අය අත්අඩංගුවට ගන්න කියලා.තවම දෙන්නයි ගත්තේ.ඒත් අපි ඉදිරියේදී අල්ලලා පෙන්වනවා.
නීතිඥයින් දහයක් පහලොවක් පිරිවරාගෙන ඇවිත් මෝටර් රථයකින් අධිකරණයෙන් එලියට ගිහින් ඔහු මොකක්ද සමාජයට දෙන පණීවුඩය.මොහුට ඒ සදහා උදවු කල බාර් හිමියත් මේ කූඩුවට ගේන්න ඕන.
අද ගේට්ටුව ලගින් බැහැලා ඇවිත් ශරීරය පරික්ෂා කොට උදේ ඉදන් හවස් වෙනකම් ඔබතුමාට දර්ශනය වන විදියට ඉන්නවා.මොහුගේ රංගනය අති විශිෂ්ඨයි.මොහුගේ රංගන වලට මායම් වලට අධිකරණයේ ගරුත්වය කෙලෙසන්න ඉඩ දූනීන බැහැ.මට වුනත් එහෙමයි.කාට වුනත් ඒක එහෙමයි.මේ සියල්ල සැලසුම් සහගතව කරපු දේවල්.ඔහුගේ බිරිදත් නීතිඥවරියක්.ඇයගේ වාහනයෙන් ගියා නම් මට ප්‍රශ්නයක් නෑ.මේ නීතිඥ මහත්වරුන්ගේ වාහනයක නැගලා ගියා නම් ප්‍රශ්නයක් නැහැ.මේ වාහනය අධිකරණය භූමියට ගෙනත් මහාධිකරණ විනිසුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සකස් කල ආරක්ෂක කොන්දේසී පවා කඩ කලා.
ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අධීකරණ නියෝගය කඩ කර මේ සැකකරු ගිය ආකාරය මේ නඩුවේ සාකාෂිකරුවන් මාධ්‍ය මගින් දැක්කා.ඔවූන් තමන්ගේ ජීවිත වලට ආරක්ෂාව ඉල්ලලා වින්දිතයන් ආරක්ෂා කිරිමේ කොට්ඨාස යට පවා පැමිණිලි කර තිබෙනවා.
ඔබ තුමා මේකට වෙනම නඩුවක් ලෙස පවරන්න කියා තිබෙනවා.මෙය ඇප නිශේධනය කිරීමට තරම් හේතුවක්.ඒ නිසා මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට මා විරුද්ධත්වය දක්වනවා.”
ප්‍රධාන සැකකරු වෙනුඅධිකරණයට පෙඨසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙසේ කීය.
“ස්වාමීනී අධිකරෝකණයට ටයි කෝට් පැලද එන්නේ අධිකරණයට ගෞරවයක් ලෙසයි.ඒ පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වෙලාවේ මගේ සේවා දායකයා සිටියේ බන්ධනාගාරයෙයි.ඒ නිසා ඔහුට ඒ පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ.එහි කරුණු පිළිබඳව මම වුනත් දැන ගත්තේ මේ දැනුයි.මාගේ සේවා දායකයාට ඇප ලබා දෙන තෙක්ම ඔහු සිටියේ බන්ධනාගාර නිලධාරීන් භාරයෙයි.ඔහු ඇප අත්සන් කර එලියට බහින විටම මෝටර් රථයක් ඇවිත් තිබෙනවා.ඒ අනුවයි ඔහු එම මෝටර් රථයට ගොඩ වී තිබෙන්නේ.ඒ වන තෙක්ම ඔහු බන්ධනාගාර නිලධාරීන් භාරයේ සීට ඇති නිසා මෙය සැලසුම් සහගතව කල ක්‍රියාවක් නොවේ.කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාව භජනය කර සිටිනවා.ඒ වගේම වාහනයක යන්න එපා කියලා කියන දේ පිළිබඳව ඔහු දැනුවත්ව සිට නැහැ.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා-
මේ තුලින් අධිකරණයේ ආරක්ෂක ක්‍රියාවලියට යම් ආකාරයක බිද වැටීමක් සිදු වී තිබෙනවා.කවුරු හරි නීතියට උඩින් බලපෑමක් සිදු කර ඇති බව පෙනෙනවා.ප්‍රධාන දොරටුවේ රාජකාරී කල පොලිස් නිලධාරියට ඒ එස්.පී කෙනෙක් තමයි අවසරය දී තිබෙන්නේ.මේක හුදු වාහනයක් ඒමට වඩා වාහනයක් ගෙන ඒමට නොහැකි තැනකට ආපු එක තමයි ප්රශ්නය වෙලා තිබෙන්නේ.ඒ වගේම අසනීප කෙනෙකුට ආබාධිත අයෙකුට වාහනයකින් අධිකරණයට එන්න පුලුවන්.ඒ සදහා නිසි අවසරයක් අරගෙන.හැබැයි ඒ හේතුව සාධාරණ වෙන්න ඕන.”.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා-
“ස්වාමිනී වාහනයට ගොඩ වු පසු ඔහු රියදුරාගෙන් අහලා තියෙනවා.පර්මිෂන් තියෙනවද කියලා.ඔහු ඔව් කියා තිබෙනවා.ඒ නිසා ඔහු හිතා මතා සිදු කල දෙයක් නොවේ.ඒ වගේම අධිකරණයට අපහාස කිරිමේ පනත යටතේ මෙම සැකකරුවන් සුදුසු ඇපයක් හෝ බැදුම්කරයක් මත මත මුදා හරින්න පුලුවන්.”
මෙහිදි දෙවැනි සෑකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසරාජ් දහනායක මහතා කියා සිටියේ ගේට්ටුවෙන් ඒමට ඉඩ ලබා දුන් නිසා තම සේවා දායකයා මෝටර් රථය ඇතුලට රැගෙනවිත් ඇති බවත් එසේ අවසර නොදුන්නේ නම් කිසි ලෙසකින් එවැන්නක් සිදු නොවන බවයි.
ඉන් අනතුරුව අවසන් වශයෙන් කරුණු දැක්වු රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දශකයකට පමණ පෙර මාතර පෙන්වු “එන්න අපි රැවටෙමු” යන චිත්‍රපටය මතක් වු බවත් මෙය අධිකරණයේ කීර්ති නාමයට හානියක් වන බැවින් ඊ ලග නඩු දිනය දක්වා සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් පැය එක හමාරකට ආසන්න කාලයක් දෙපාර්ශ්වයේම කරූණු වලට සවන් දුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා මිනිත්තු 40 කින් පසු තීන්දුව ප්‍රකාශ කරන බව පවසා අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීය.
ඒ අනුව සවස 5.45 ට පමණ අදාල නියෝගය වබා දෙමින් සැකකරුවන් දෙදෙනා මුදා හරීන ලදි.
මේ නිසා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හා ඉන් පිටත පොලිස් ආරක්ෂාව තර කර තිබුණි.මීට පෙර රාජකාරියේ සිටි කොටවිල පොලීසියේ බොහෝ නිලධාරීන් අධිකරණ රාජකාරී වලින් ඉවත් කොට ඊයේ වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් ඒ සදහා කැදවා ගෙන තීබුණි.ඔවුන්ගේ සහායට පොලිස් විශේෂ කාර්ය බලකාය ද අධිකරණ ශාලාව අවට ගිනිඅවි සහිතව රාජකාරියේ යොදවා තිබුණි.
අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සාමාන්‍ය පරිදි පා ගමනින් අධිකරණ භූමියෙන් පිටතට පැමීණ පාරේ නවතා තිබු මෝටර් රථයට ගොඩ වී පිටව ගිය අයුරු දැක ගත හැකි විය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd