දේශද්‍රෝහියෙකුට රටේ ඉහළම තනතුරක් ලබා දුන් නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චැනල් 4 නාලිකාව පිළිබඳ වාර්තා සැඟවීම සිදු කරනවා විය හැකි බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
අදාළ වාර්තාව පිළිබද හෙළිදරුව් කිරීම සඳහා අද(28දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“දැන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ වාර්තාව යටපත් කරන්න උත්සහ කරන්නේ ඇයි? මාලිමාව විපක්ෂයේ සිටියදි නම් කිව්වේ චැනල් 4 නාලිකාවෙන් නගන චෝදනා අනිවාර්යෙන්ම විමර්ශනයට ලක් කළ යුතු බවයි. වහාම කමිටුවක් පත් කළ යුතු බවයි. ඔවුන් එදා මේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ කරුණ සත්‍ය සහ නිවැරදි යැයි කියා තමයි කිටයුතු කළේ. මේ චෝදනා ගැන කඩිනම් විමර්ශනයක් කරන්න ඕනී කියලා කිව්වේ මේ චෝදනා ඇත්ත වෙලා බුද්ධි අංශ නිලධාරීන් අමාරුවේ වැටෙයි කියන බලාපොරොත්තුවෙන්. මේ වාර්තාව ප්‍රසිද්ධ වුණොත් එදා මාලිමාව ගත්ත ස්ථාවරය වැරදියි කියන එක හෙළිදරව් වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ වාර්තාව සඟවා ගන්න උත්සහ කළේ.
ඒ විතරක් නෙවෙයි අපේ මව්බිම අපකීර්තියට පත් කරපු , ඒ විතරක් නෙවෙයි අපේ ජීවිත බේරගන්න තමන්ගේ ජීවිත අවධානමට ලක් කරපු අපේ රණවිරුවන්ට ජාත්‍යන්තරය ඉදිරියේ පහර දෙන්න කටයුතු කරපු දේශද්‍රෝහියෙකුට තමන් රටේ ඉහළම තනතුරක් ලබා දීලා තියෙනවා කියලා හෙළිදරව් වීමක් නැතිනම් ඒ පිළිබඳ සමාජ සංවාධය යළි මතුවීමක් සිදුවේවි කියන බයටත් ජනාධිපතිතුමා මේ වාර්තාව සඟවාගෙන ඉන්න කටයුතු කළා වෙන්න පුළුවන්. ”