සමාජ මාධ්‍යයේ පලවන විවිධ ප්‍රකාශ හේතුවෙන් දේවාල වල ආදායම සියයට පනහකින් අඩුවී ඇති බවට බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකොට ඇති ප්‍රකාශයට බස්නායකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ සබරගමුව බුල්තුමේ මහා සමන් දේවාලයේ වත්මන් බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා දැඩි විරෝධයක් දක්වමින් එම සංගමයට ලිපියක් යොමු කොට තිබේ .
එම ලිපිය මගින් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ එම ප්‍රකාශය මගින් මෙරට දේවාල 31 ක බස්නායක නිලමේ වරුන්ද හිටපු බස්නායක නිලමේ වරුන් සහ වත්මන් දියවඩන නිලමේ ඇතුළු හිටපු දියවඩන නිලමේවරුන් දැඩි අපහාසයක් නින්දාවක් සහ හානියක් සිදුව ඇති බවයි .
දේවාලයක බස්නායක නිලමේ ධූරයක් දරන්නාට ඇති ප්‍රධාන කාර්යයන් වන්නේ දේවාලයේ හතර මහා මංගල්‍යයන් සිදු කිරීමත් එහි පරිපාලන කටයුතු සිදු කිරීම බවත් දේවාලයක් යනු මුදල් අය කරන ස්ථානයක් නොවන බවත් එය බැතිමතුන්ගේ හිත සුව පිණිස ඇති පුණ්‍ය භූමියක් බවත් එම ලිපිය මගින් පෙන්වා දෙයි .
බස්නායක නිලමේ වරයෙකු වශයෙන් වසර 36 ක අත්දැකීම් ලබමින් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ වැඩිම කාලයක් සභාපතිත්වය දරමින් සිටි තමන් මෙවැනි ලජ්ජා සහගත ප්‍රකාශ කිසි දිනක සිදුකොට නොමැති බවද එම ලිපියේ සඳහන්ය .
මේ සම්බන්ධයෙන් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එය සංගමයේ නිල ප්‍රකාශයක් නොවන බවත් එම ප්රකාශනයේදී වැරදි අර්ථකථනයක් සිදුවී ඇති බවත්ය .
සමාජ මාධ්‍යයේ පළවන විවිධ ප්‍රකාශ හේතුවෙන් දේවාලවලට බැතිමතුන් අඩුවීමේ ප්‍රවණතාවක් තිබෙන බව පැවසූ බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ ලේකම්වරයා එය පිළිගන්නා බවද පැවසීය .