දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම් වල සිදුකළ මනුෂ්‍ය ඝාතන හතරක යතුරු පැදි කරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්තිඩිය, වැව පාරේදී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු මහේෂ් පෙරේරා නොහොත් ජනියා නමින් හඳුන්වන ගල්කිස්ස බඩෝ විට 3 වන අදියර පදිංචිකරුවෙකි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඉකුත් 30 වෙනි දින අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග මත සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධ සම්බන්ධයෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නැමැත්තාගේ උපදෙස් මත මෙම සිව් ඝාතනය සඳහා සැකකරු පැදිකරු ලෙස සම්බන්ධව ඇත්තේ එක් ඝාතනයක් සඳහා රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම සංවිධානාත්මක අපරාධකරු විසින් අපරාධ සිදු කිරීම සඳහා අවි ආයුධ සහ යතුරුපැදී විවිධ පුද්ගලයන් මාර්ගයෙන් මෙම සැකකරුට ලබා දී ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව සැකකරු විසින් දෙහිවල පොලිස් වසමට අයත් බඩෝවිට හතරවන අදියර ප්‍රදේශයේදී ඉකුත් වසරේ සැප්තැම්බර් මස 15 වෙනි දින තරිඳු මදුෂාන් ස්වාරිස් (31) නැමැති පුද්ගලයා ඝාතනය කිරීම , එම වසරේ නොවැම්බර් 13 වෙනි දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝ විට තුන්වන අදියරේ ගයෂාන් චතුරංග ප්‍රනාන්දු (30) ඝාතනය කිරීම හා ඉකුත් ජනවාරි මස හත්වැනි දින ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේදී බෝම්බිරියගේ සුදත් ගෝමස් නොහොත් මනෝ (37) හා ඔහුගේ ඥාති පුත් චානුක විමුක්ති පිරිස් (21) යන ද්විත්ව ඝාතන සිදුකිරීම සඳහා පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍වලට ඇබ්බැහි වුවෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.