ද්විපාර්ශවිය ණය ප්‍රතිව්‍යුහකරණයට ගිවිසුමක් අත්සන් කිරීම පදනම් කර ගෙන රට බංකොලොත් බවින් මිදුනා යැයි පවසමින් සැණකෙලි පවත්වන්න ආණ්ඩුව සූදානම් වුවද සැබැවින්ම රට බංකොලොත් භාවයෙන් මිදී නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (24) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"ජූනි 27 දිනට ද්විපාර්ශවිය ණය ප්‍රතිව්‍යුහකරණයට ගිවිසුමක් අත්සන් කිරීම පදනම් කරගෙන රට බංකොලොත් බවින් මිදුනා කියලා රබන් ගහලා රතිඤ්ඤා පත්තු කරලා සැණකෙලි පවත්වන්න ආණ්ඩුව කටයුතු සංවිධානය කරනවා කියලා අපට ආරංචියි. නමුත් ද්විපාර්ශවික ණය කියන්නේ අපේ විදේශ ණය වලින් පොඩි කොටසක් විතරයි. ඒක ආපසු ගෙවන ක්‍රමවේදයක් පිළිබඳ එකඟතාවයක් ඇති කර ගත්තා කියලා අපි බංකොලොත් බවින් මිදෙන්නේ නෑ.
අයිඑම්එෆ් ගිවිසුමට අනුව 2022 අවසන් වන විට ආණ්ඩුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42ක්. මේවා ගෙවා ගන්න බැරි වීමෙන් තමයි අපි බංකොලොත් වුණේ. මේ ණය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. පළමු කොටස බහුපාර්ශවීය ණය. ඒ කියන්නේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර ආයතන වලින් ලබා ගත් ණය. එතැන ඩොලර් බිලියන 11.5ක්. මේවා අපි පැහැර හරින්නේ නැතිව දිගටම ගෙවා ගෙන ආවා. එතකොට ගෙවීම පැහැර හැරියේ ද්විපාර්ශවීය ණය සහ පෞද්ගලික ණය. ද්විපාර්ශවීය ණය ඩොලර් බිලියන 11.5ක් ගෙවන්න තිබෙනවා. ඕක තමයි දැන් ප්රතිව්යුහකරණය පිළිබඳ එකඟතාවයකට ඇවිත් සමරන්න හදන්නේ.
පෞද්ගලික ණය කියන්නේ බැඳුම්කර නිකුතුවෙන් ජනතාවගෙන් හරි විදේශ විනිමය විධියට බැංකු වලින් හරි ලබා ගත් ණය. ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 17.6යි. එහෙම නම් අපේ ණය වලින් ලොකුම කුට්ටිය තිබෙන්නේ පෞද්ගලික ණය. ඒවා ප්රතිව්යුහකරණය කරන්නේ කොහොමද කියලා තවම ණයහිමියන් සමග එකඟතාවයකට එන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා පෞද්ගලික ණය ප්රතිව්යුහකරණය කරන තුරු අපට බංකොලොත් බවින් මිදෙන්න බෑ. ඇත්තෙන්ම ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟතාවය ඇති වුණේ මීට මාස තුනකට විතර කලින්.
නමුත් ගිවිසුම් අත්සන් නොකලේ පෞද්ගලික ණය ප්රතිව්යුහකරණය නොකර බංකොලොත් බවින් මිදෙන්න බැරි නිසා. පෞද්ගලික ණය හිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ආණ්ඩුව අසමත් වුණත් ලෝකයේ කිසිම රටක් අවුරුදු දෙකහාමාරක් ණය ප්රතිව්යහුකරණය ඇදලා නැති නිසාත් ඡන්දය ලඟ එන නිසාත් ද්විපාර්ශවික ණය ඩොලර් බිලියන 11.5ක් ප්රතිව්යුහකරණය බංකොලොත් බවින් මිදීම කියලා බොරුවක් කියන්න ආණ්ඩුව තීරණය කරලා. ඒ නිසා පෞද්ගලික ණය ප්රතිව්යුහකරණය කරලා මේ රට බංකොලොත් බවින් මිදෙන ඇත්ත දිනය රටට කියන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා.
මුදල් නෝට්ටුවල පළමු අත්සන්කරු වන මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලංකාව 27දා බංකොලොත් බවින් මිදෙන බව ඊයේ ප්‍රකාශ කළා. ඒත් දෙවන අත්සන්කරු වන මහ බැංකු අධිපතිතුමා 2023 දෙසැම්බර් මාසයේ දී කිව්වේ ලංකාව බංකොලොත් වුණේ නෑ කියලා. මුදල් ඇමති කියන්නේ ඇත්ත නම් මහ බැංකු අධිපති කියන්නේ බොරු. මහ බැංකු අධිපති කියන්නේ ඇත්ත නම් මුදල් ඇමති කියන්නේ බොරු. ආණ්ඩුවේ නායකයින් ආර්ථිකය ගැන කියන බොරු අහලා ජනතාව ඒකට දැන් හුරුයි. ඒත් මෙහෙම පරස්පර බොරු කිව්වාම ජනතාව ව්‍යාකූල වෙනවා. ඒ නිසා දෙන්න කතා වෙලා එක බොරුවක් කියන්න කියලා මම යෝජනා කරනවා."