සමිත් බෝධිපක්ෂ (චීනයේ බීජිං නුවර සිට)
දුප්පතුන් දුප්පත් වනවිට ධනවතුන් පොහොසත් වන ලෝකයක සමෘද්ධිය සහ ස්ථාවරත්වය කළ නොහැකි බවත්, ගෝලීය සංවර්ධනය යටතේ ලෝකය සැමට ප්‍රයෝජනවත් සහ වඩා ඔරොත්තු දෙන තත්ත්වයට පත් කළ යුතු බවත් චීන ජනාධිපති ෂි ජින්පිං මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (18දා) බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරදී පැවැති ජී20 නායක සමුළුවට සහභාගි වෙමිනි.
මෙවර රියෝ සමුළුව "සාධාරණ ලෝකයක් සහ තිරසාර ග්‍රහලෝකයක් ගොඩනැගීම" යන තේමාව යටතේ ක්‍රියාත්මක අතර, පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කරන බවද ඔහු කියා සිටියේය.
එවැනි ලෝකයක් ගොඩනැගීම සඳහා, වෙළඳ, ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව යනාදී ක්ෂේත්රවල සම්පත් ආයෝජනය වැඩි කළ යුතු බවත් දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය වැනි අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා මෙහිදී චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීම පිළිබඳ අදියර 08ක් යටතේ කරුණු ප්‍රකාශ කළ අතර, ‘එක් තීරයක් එක් මාවතක්‘ වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජගත් සහයෝගිතාව සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දීම ආදිය ඇතුළු කරුණු ඒ යටතේ විස්තර කළේය.
"සැතපුම් දහසක ගමනක් ආරම්භ වන්නේ පළමු පියවරෙන්"ය යන චීන කියමන සිහිපත් කළ ඒ මහතා, පොදු සංවර්ධනය සහිත සාධාරණ ලෝකයක් ගොඩනැගීමට සහ සිය දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට සියලු පාර්ශ්ව සමග එක්ව පියවර ගැනීමට චීනය සූදානම් බවද අවධාරණය කළේය.