පාස්කු ප්‍රහාරය සිදුව වසර 06ක් සපිරෙන ලබන අප්‍රේල් 21වැනිදා වන විට රජයෙන් යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් බලාපොරොත්තු වන බවත්, එසේ නොමැති වුවහොත් නැවත පාරට බැසීමට සිදුවන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
“පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි තවමත් ඉල්ලා සිටින්නේ එදා කටුවපිටිය දේවස්ථානයේ ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව හැකි ඉක්මනින් ඉෂ්ට කරන්න කියලයි. ඒ අය කිව්වේ කාලයේ වැලි තලාවට මෙහි සත්‍යතාවය යටපත් කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. පාස්කු ප්‍රහාරය පිළිබඳ අපි නිහඬ වෙලා නෑ.
අපි බලාගෙන ඉන්නවා, අපි බලය දුන්නා. දැන් අපි ඒ බලය පාවිච්චි කරලා ඒක පිළිබඳ හරියාකාර හැකි ඉක්මනින් විමර්ශනයක් කරලා, ඒකට අවශ්‍ය වන නීති රීති සම්පාදනය කරලා, ඒ නීති රීති වෙනස් කරන්නට අවශ්‍ය නම් ඒවා වෙනස් කරලා යුක්තිය සහ සත්‍ය මෙතනදී සිදුවුණේ මොකක්ද කියන එක පිළිබඳ රහසිගතව ඒවා හංගගෙන ඉන්න හදන්නේ නැතිව, එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතිව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා දැන් පාලනය කරන අයගෙන් ඉල්ලා සිටින්න කැමතියි.
අපිට ඒ පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න කරුණාකරලා. තව මාසයකින් අපි මේ පාස්කු ප්‍රහාරයේ 06 වැනි සංවත්සරය සමරනවා. 06 වැනි සංවත්සරයට කලින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් අපිට සිදුවෙනවා නැවත වරක් පාරට බහින්න.”