අධිකරණ නියමය අනුව ඥාතීන්ට බාරදුන් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීමට අවසර දීමට හැකියාව ඇද්දැයි සොයා බලා දැනුම්දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පංචපුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයට ඊයේ (09දා) දැනුම් දුන්නාය.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අන්තිම කැමැත්ත ඔහුගේ දේහය ආදාහනය කිරීම බව පෙන්වා දෙමින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස දැනුම් දුන්නාය.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වු අවස්ථාවේදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අන්තිම කැමැත්ත ඔහුගේ දේහය ආදාහනය කිරීම යැයි පැවසීය.
ඒ අනුව සිය සේවාදායකයන්ගේ අන්තිම කැමැත්ත අනුව මරණකරුගේ දේහය ආදාහනය කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා යම්හෙයකින් ඔහුගේ දේහය භූමදානය කිරීමට නියම කරන්නේ නම්, කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ් නිකායට අයත් සුසාන භූමියෙන් මරණකරුගේ බිරිඳ විසින් ලබාගෙන ඇති බිම්කඩේ භූමිදානය කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයන්ගේ දිවුරුම් ප්‍රකාශ මගින් එම කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස දැනුම්දුන් මහේස්ත්‍රාත්වරිය, විමර්ශන කටයුතු සඳහා මරණකරුගේ මෘතදේහය තවදුරටත් අවශ්‍යද? මෘතදේහය ආදාහනය කිරීමට අවසරදිය හැකිද? යන්න අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා ලෙස පංච පුද්ගල විශේඥ කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාට දැනුම් දුන්නාය.
වැඩිදුර මරණ පරීක්ෂණය ලබන 16වැනිදා තෙක් කල් තැබීමටද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.