රුසියාවේ සහ යුක්රේනයේ යුද කඳවුරු වල රැකියා දෙන බව පවසා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (07දා) දැනුම් දී තිබේ.
මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් රුසියානු රජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකික පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇත.
අදාල ශ්‍රමික ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ ආරක්ෂක අමාත්‍යංශයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් ඊයේ (07දා) කැඳවා තිබිණි.
රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල සේවය කිරීමට බව පවසමින් පුවත්පත් වල දැන්වීම් පළ කර රුපියල් ලක්ෂ දහ අට බැගින් ලබාගෙන ඇති බවත්, මෙම ශ්‍රී ලාංකික පිරිස එම රටවලට යවා ඇති බවත දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
එම රටවලට ගිය පසු ඔවුන් යුද්ධය සඳහා යොමු කර ඇති බවත්, එම පිරිසෙන් පහළොවක් මේ වන විට මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන්ගේ දේහයන්වත් සොයා ගැනීමට නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
යුද්ධයේදී ඩ්‍රෝන ප්‍රහාර වලට ලක්ව එවැනි තවත් පිරිසක් මියගොස් ඇති බවට තොරතුරු ඇතැයි ජයසේකර මහතා කීවේය.
එම රට වලට ගිය පසු රුපියල් ලක්ෂ විස්සක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ හතක වේතනයක් ලබාදෙන බවට ඔවුන්ට පොරොන්දු වී ඇතත් මාස ගණනාවකින් ඔවුන්ට වේතන ලබා දී නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම වංචාවට හසු වූ පුද්ගලයන් සිටී නම් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙස ද රජය ඉල්ලා සිටියි.