දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවලු රැගෙන ආ ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවලු අලෙවි කිරීමේ වැඩසටහනක අද (08) දින පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.
ආර්ථික මධ්‍යස්ථානය අද දින විවෘත කරන බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණු අතර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව ඊයේ 07 දින පස්වරුවේ නැවත නිවේදනය කොට තිබිණි .
ඒ අනුව ඒ වන විටත් එළවලු අස්වනු නෙළා අවසන් වූ ගොවීන් මේ ආකාරයෙන් එළවලු දඹුල්ලට රැගෙන විත් තිබිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ අවට ප්‍රදේශවල තමන් රැගෙන ආ එළවලු පිටස්තර එන ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කොට තිබේ . ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා මෙහි මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරන අතර දඹුල්ල ප්‍රාදේශිය ලේකම් පියල් ජයසූරිය මහතා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් 150 දෙනෙකු සම්බන්ධ කරගෙන දිවයිනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා ලැබෙන එළවළු ඇණවුම් ලබා ගැනීම මෙහිදී සිදු කරති .
දුරකථනයෙන් සහ ඊමේල් පණිවිඩ මගින් මෙම ඇණවුම් භාර ගෙන වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයින් හරහා ඔවුන්ගේ ගොවීන්ට ඇණවුම් ලබා දී අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට එළවලු ප්‍රවාහනය කර දීම සිදු කරන බව දඹුල්ල ප්‍රාදේශිය ලේකම් පියල් ජයසූරිය මහතා පැවසීය.
එළවලු විශේෂ තොග මිල ගණනක් යටතේ මිලදී ගැනීම විශේෂත්වයකි. ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ ව්‍යාපාරිකයින් ගොවීන් එක්ව මෙහෙයුම් මැදිරියෙන් රටපුරා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට එළවලු තොග මිල හඳුන්වා දී ඇති බවය.
ඒ අනුව එළවලු මිල ගණන් ක්‍රිස්ටි විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළේය.
ගෝවා රුපියල් හැත්තෑවක් ,බෝංචි රුපියල් සීයයි, ලීක්ස් රුපියල් සීයයි, නුවරඑළිය කැරට් 130 ,නුවරඑළිය කැරට් රුපියල් සීයයි ,කොළ බිට් නුවරඑළිය රුපියල් පනහයි ,කට් බිට් රුපියල් හැටයි ,තක්කාලි රුපියල් හැටයි ,මලුමිරිස් රුපියල් 110,නොකෝල් 40, බණ්ඩක්කා රුපියල් 50 යි, පතෝල රු.50 ,කරවිල රුපියල් හැටයි ,,කොහිල රුපියල් හැටයි , පිපිඤ්ඤා රු.40 ,වට්ටක්කා රුපියල් හැටයි ,වම්බටු රුපියල් 80 දඹළ රුපියල් හැටයි, එළබටු රුපියල් හැත්තෑවයි ,මෑකරල් රුපියල් හැටයි, මුරුංගා රුපියල් එකසිය විස්සයි ,කැකිරි රුපියල් තිහයි ,තිබ්බටු රුපියල් දෙසීයයි ,ඇඹරැල්ලා රුපියල් 80 , තුඹ කරවිල රුපියල් දෙසීයයි ,ඉඟුරු රුපියල් 160 ,අතුගෝවා රුපියල් 180 යි ,කෙසෙල්මුව රුපියල් හැටයි සීනි කෙසෙල් රුපියල් හතළිහක් අබුල් කෙසෙල් රුපියල් හතළිහයි ,කෝලිකුට්ටු රුපියල්20, ගස්ලබූ 50 ,කොමඩු රුපියල් තිහයි.
යන මිල ගණන් යටතේ ගොවීන්ගෙන් මිලදී ගෙන දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට යවන බව විජේරත්න මහතා සඳහන් කළේය.
කාංචන කුමාර ආරියදාස