ලංකාව ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ඉවත්වීම සමස්ත ආර්ථිකයටම සුබදායි ආරංචියක් බවත්, ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණියද ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ගත හැකි තත්ත්වයට පැමිණ නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අපිට දැන් ආරංචි වෙනවා ලංකාව ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ඉවතට අරගෙන ෆිච්, මූඩීස් ශ්‍රේණිගත කිරීම යම්කිසි ඉහළ දැමීමකට භාජනය වෙලා තියෙනවා කියලා. ඇත්තටම ඒක සතුටුදායක ආරංචියක් මුළු රටටම. රජය ණය ගන්න එක සම්බන්ධයෙන් රට පත් කරලා තිබුණු ඒ අර්බුදය පුද්ගලික අංශයේ ආයෝජකයන්ටත් දැඩි ලෙස බලපෑවා. ආයෝජකයන් ලංකාවට එන්න මැලි වුණා.
රජයට විතරක් නෙවෙයි සමස්ත ආර්ථිකයටම සුබදායි ආරංචියක් කියලා මුලින්ම කියන්න ඕනෑ. මූඩීස් එක අපිට දීලා තියෙනවා CAA1 කියලා. ඒක ක්‍රම ක්‍රමයෙන් තමයි ඉහළට යන්නේ. CCC වගේ තමයි ෆිච් එකෙයි එස් ඇන්ඩ් පී එකෙයි තියෙන්නේ. තවම ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ගත හැකි ශ්‍රේණිගත කිරීමකට අපි ඇවිල්ලා නෑ. ඒකට BBB වගේ තැනකට එන්න වෙනවා. එතනට එන්න තව ආර්ථිකය ශක්තිමත් විය යුතුව තිබෙනවා. මේ ලැබිලා තියෙන්නේ ගිය ආණ්ඩුව හරහා කරපු සහ පාර්ලිමේන්තුවේ සම්මත වුණු අණ පනත් හරහා රටේ වැටිලා තිබුණු ආර්ථිකය යම්කිස් ස්ථාවර භාවයකට ගේන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක්. නැතුව අලුතින් කරපු දෙයක් සම්බන්ධයෙන් නෙවෙයි.
ඡන්දයට කලින් ජේ.වී.පී. සහ එන්.පී.පී කණ්ඩායම කිව්වා ණය තිරසර කිරීමේ විශ්ලේෂණය (DSA) එක වෙනස් කරන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා ඔවුන්ට විකල්ප DSA එකක් හදනවා , ඒක පාවිච්චි කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන අවස්ථාවේ කියලා. ඉතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ආවා. නමුත් ඔවුන්ගේ විකල්ප DSA එකක් පාවිච්චි කළේ නෑ. මම කියන්නේ නෑ ඒ පොරොන්දුව මතම ඉදගෙන දැන් මේක වෙනස් කළ යුතුයි කියලා. ප්රශ්නය තියෙන්නේ ඒක දැනගෙනම අසත්‍ය ප්‍රකාශ ඔවුන් ජනතායට කළා. මේක වෙනස් කරන්න බැරි බව දැනගෙන රටට කිව්වා නෑ අපි වෙනස් කරනවා කියලා. එහිදී මුළා කිරීමකට ජනතාව පාත්‍ර වුණා. ඒත් කරගෙන ආපු වැඩේ ඒ විදියටම ඉදිරියට යන නිසා රටට සෙතක් ලැබෙනවා. අපි දිගින් දිගටම කරන්න පුළුවන් මොනවාද, කරන්න බැරි මොනවාද කියලා ඉදිරිපත් කළා.
ඊළඟට තියෙන්නේ යම් ස්ථාවර භාවයකින් ඉහළ ගිහින් කොහොමද රටේ ආර්ථික වේගය වර්ධනය වෙන්නේ කියලා. කාලයකට පස්සේ තුන්වන කාර්තුව 5.5%කින් වර්ධනය වුණා. ඊළඟට කුමක් සිදු වෙනවාද? ඒ සඳහා ගතයුතු පියවර මොනවාද? කියන එක පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. ශ්‍රේණිගත කිරීමේ ආයතන කියලා තියෙන්නේ ඉදිරියේදී බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ විදියටම කරගෙන ගියෝතින් ශ්‍රේණිගත කිරීමෙන් ඉහළට යන්න හැකියාවක් තිබෙනවා කියලා. ”