තව වසර දොළහක් මෙරට පාලනය කිරීමට වත්මන් ජනාධිපතිතුමාට බලය ලබා දිය යුතු බවත් එය එසේ නොකොට වෙනත් පුද්ගලයකුට මේ රට භාර දීමට කටයුතු කළොත් පෙර තිබුණ තත්ත්වයට යළි රටේ අඳුරු අගාධයකට වැටෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද (22) ගාල්ලේ දී ප්‍රකාශ කළේය
.
වෙසක් උත්සවය නිමිත්තෙන් පිරිවෙන්, විහාරස්ථාන, දන්සැල්, සඳහා සහල් සහ මූල්‍ය ආධාර ප්රදානය කිරීම නිමිත්තෙන් ගාල්ල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී ජන හමුවක් පැවැත්විණි .
එම ජන හමුවෙන් පසුව මාධ්‍ය වෙත දැක්වූ අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
"රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට තිබුණු අඳුරු ආගාධයෙන් ගොඩ ගත්තා.වසර දෙකකදි තිබූ තත්ත්වය වෙනස්කරා. රට තිබුණු තත්ත්වයෙන් වෙනස් කර මිනිසුන්ට සැනසීමේ හුස්ම ගන්ට ඉඩකඩ සලස්වා දුන්නා. වැටුණු රටට නායකත්වය දීලා රට ගොඩ ගන්න වැඩපිළිවෙළක් සකස් කළා.
මෙතෙක් රට පාලනය කරපු සියලු නායකයන්ගෙන් වූ අඩුපාඩු එතුමා වටහා ගත්තා. ඔවුන්ට කාටවත් දොස් කියන්නේ නැතිව රට බාර අරගෙන එය නිවැරදි කිරීම කරමින් සිටිනවා. රට සම්පූර්ණ නිදහස් කිරීම ජුනි මාසය වන විට අවසන් කරන්න පුළුවන් වේවි. එතුමා ලෝකයේ අවධානය ශ්‍රී ලංකාවට යොමු කරගත්තා. එහි ප්‍රයෝජනය ලාංකික මහජනතාව අද භුක්ති විඳිමින් තියෙනවා.
ජනාධිපතිවරණයක් ළඟ එනවා. මේ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙනවා. ඒ සඳහා එතුමාට පක්ෂ පාට භේදයක් නැතිව සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතුයි. ඉදිරි මැතිවරණයේදී මේ පාලන ක්‍රමය වෙනස් කරන්නට යාම බරපතල වැරදි තීන්දුවක්. ජනාධිපතිතුමාගේ මෙම පාලන ක්‍රමය ඉදිරියේදී වෙනස් නොකර අවුරුදු දොළහක් විතර දීර්ඝ කාලයක් එතුමාට මෙරට පාලනය කිරීමට ඉඩ ලබාදිය යුතුයි.
.
සියලු දෙනා එකතු වෙලා එතුමා ආරක්ෂා කළ යුතුයි. සමාජයේ අද එවැනි මතයක් ගොඩනැගෙමින් තියෙනවා. මේ රට පාලනය කළ අවුරුදු 75ක ගැනත් කවුරුත් කතා කරනවා. ඒක සාපයක් කියල විග්රහ කරන අයත් ඉන්නවා .සාපය ගැන කතා කරන විට එයට හවුල් නොවූ කෙනෙක් නැති තරම්. සියලු දේශපාලන පක්ෂ තිබුණු අසාර්ථක භාවය වගේම ජාත්‍යන්තර හා ආසියාතික දේශපාලනය සමග ගලපා බලන විට හිටපු හැම නායකයකුටම සම්මානයක් දෙන්න ඕනේ .ආසියාවෙන් ශ්‍රී ලංකාව මේ ගණනට ආරක්ෂා කිරීම ගැන .ඒ සියලු නායකයන්ගේ අප ස්තූතිවන්ත විය යුතුයි . ඔවුන් කළ හොඳ හොඳ හැටියට දැකිය යුතුයි.
.අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28, 29 වගන්ති වල සඳහන් මේ කරුණු වග වීමක් නැති තත්ත්වය තුළ ඕනම දේශපාලනඥයෙකුට ඕනෑම බොරුවක් කිරීමට හැකියි .එය ඉටු කළ නොහැකිවිට අධිකරණයටවත් බලපැම් කල නොහැකියි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැමවිටම කටයුතු කළේ ප්රජාතන්ත්රවාදිවයි. එතුමා ප්‍රශ්න දිහා බැලුවේ ප්රජාතන්ත්රවාදිවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩු ලුහුඩුකම් වලින් පැන යාමට නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවකට තබාගන්න එතුමා හැමවිටම උත්සාහ කළා. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 48 ,49,50,51 ,52 වගන්ති ආරක්ෂා කිරීමට එතුමා කටයුතු කරනවා.පාර්ලිමේන්තුවේ මුදල්වලට වගකිය යුතු දේශපාලන පක්ෂ බවට පරිවර්තනය කිරීමට පනත් හරහා ක්‍රියා කරමින් සිටිනවා.
මේ වගේ වැටුණු ආර්ථිකයක් ගොඩගෙන ඉදිරි අනාගතය හරි දැක්මක් තුළ ගෙනියන්න පුළුවන් නායකයෙකු මේ ලංකාව තුළ වර්තමානයේ අපට දකින්නට නෑ. ඒ නිසා විවිධ උප්පරවැට්ටි දාලා මිනිසුන් මුලා කරලා ඡන්දෙ බලාගෙන සිහින ලෝක මවන නායකයන්ට ඔබට රැවටෙන්න එපා කියලා මා කියනවා" යැයි වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කමල් ශ්‍රී ලියනගේ